රට බරපතල අගාධයක , ආගමික නායකයන්ම කියයි මහනුවර වාර්තාකරු

පවත්වාගෙන ගිය ක්‍රමය යටතේ තව දුරටත් රට කළහොත් බරපතල අගාධයකට රට ගමන් කරන බව මහ සංඝරත්නය නිරන්තරව ප්‍රකාශ කළත් පාලකයින් ඊට ඇහුම්කන් නොදුන් බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පවසති.
නොකෙරෙන දේවල් වලට අනුශාසනා කිරිමෙන් ඵලක් නොමැති බව තේරුම් ගත් මහා සංඝරත්නය දැන් විශාල කළකිරීමකට පත්ව සිටින්නේ යැයිද උන්වහන්සේ කීහ.
රටත් ජනතාවත් මෙතරම් අසීරුතාවකට පත්ව තිබෙන්නේ පාලකයින් මහා සංඝරත්නය ලබාදුන් අවවාද හා අනුශාසනා නොතකා හැරීම නිසා යැයිද මහනාහිමියෝ පැවසූහ.
අස්ගිරි මහානාමියෝ එසේ පැවසුවේ මහනුවර මඩවල ශ්‍රී ජිනමංගලාරාමාධිපති පූජ්‍ය ලියන්වල ශාසනරතන නාහිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේදී  පැවැති උත්සවයකදී ය.
විහාරස්ථානයේ බෝ මළුවේ රන්වැට හා පිළිම වහන්සේ විවෘත කිරීමත් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල් 150 කට වියළි ආහාර හා පාසල් පොත් උපකරණ බෙදා දීමත් මෙහිදී සිදු කෙරුණි.

අද රට පත්ව තිබෙන තත්ත්වය පිළිබඳව පුංචි දරුවාට පවා අවබෝධයක් තිබෙන බවත් දැන උගත් සියලු දෙනා පසුවන්නේ දැඩි කළකිරීමකින් බවත් උන්වහන්සේ පැවසූහ.
බුදුන් වැඳ දෙවියන්ට පිං දී රට බේරාදෙන ලෙස ඉල්ලනවා හැර ඒ සම්බන්ධව කිව හැකි වෙනත් මිනිහෙක් නැති බවද මහනාහිමියෝ ප්‍රකාශ කළහ.
බහුතරයක් දෙනා අන්තගාමිව කටයුතු කරත්දී පටු අදහස් වලින් මිදී හොඳ නරක නිවැරදිව ගෙන වැඩ කරන්නේ ඉතා සුළු පිරිසක් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
අද මේ රටේ දෙමව්පියන් තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව දැඩි බියකින් පසුවන බවත් දෙවියන් විසින් රට ආරක්ෂා කර දෙනු ඇතැයි යන්න හැර වෙනත් විශ්වාසයක් නොමැති බවත් මහනාහිමියෝ අවධාරණය කළහ.
විදේශ ආක්‍රමණ හමුවේ පවා රට එදා සිට මේ දක්වා ආරක්ෂා වී පැවතුණේ දෙවියන්ගේ ආශිර්වාදය හා පිහිට රටට ලැබුණු නිසා බවත් ඒ ආකාරයෙන්ම හෙට දවසේත් රටේ ආරක්ෂාව තහවුරු වනු ඇතැයි විශ්වාසය තැබිය හැකි බවත් උන්වහන්සේ පැවසූහ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *