වහලුන් ලෙස නොව පුරවැසියන් ලෙස ඒකරාශීවීම තුළින් අසාර්ථක නායකයින් පළවා හරිමු – ජාඇල ගෝඨා ගෝ ගම-සටහන සහ ජායාරූප – මෙලනි මානෙල් පෙරේරා

ජනතා අවශ්‍යතා දිනා ගැනීම උදෙසා ආරම්භකරන ජන අරගල අවශ්‍යතා දිනාගන්නා තෙක් ඒ සඳහා බලපෑම් කිරීමට විවිධ ක්‍රමෝපායන් භාවිතා කළ හැකි බව පෙන්වාදෙමින් ,”වද නොදී සිහසුනෙන් බැසයන්න”, ලෙසට පසුගියදා ජාඇල – ගෝඨා ගෝ ගම හි දී සංගීත වැඩසටහනක් පැවැත්විණී. අරගල වෙනුවෙන් සංගීත නිර්මාණයෙහි දක්‍ෂයෙකු මෙන් ම දිවයිනේ සුප්‍රසිද්ධ සංගීතවේදියෙකු වන ජයතිලක බණ්ඩාර විසින් මෙකී අර්ථවත් සංගීත වැඩසටහන දියත් කළේය.
“ජන පීඩක ආණ්ඩුව ක්‍රමානූකූලව මේ රටේ නිරායුධ මිනිස්සුන්ව දඩයම් කරන්න පටන්ගත්තා. ඒ දඩයම තුළ කිසිම චෝදනාවක් නැතිව තරුණ තරුණියන් ව නීතියේ රැහනට ගන්න පටන් ගත්තා. ඒ කරන අධම වැඩේ නවත්වන්න සහ කොළඹ ගෝඨා ගෝ ගමට ශක්තියක් වෙමින් මේ අසමත් රාජ්‍ය නායකයාව පන්නන්න තමයි ජාඇල අපි, මේ ජාඇල ගෝඨා ගෝ ගම ආරම්භ කළේ.” වද නොදී සිහසුනෙන් බැසයන්න සංගීත වැඩසටහන ආරම්භ කරමින් ජාඇල ගෝඨා ගෝ ගම සංවිධායක කමිටු සාමාජික සිතුම් යුරාජ් ප්‍රකාශ කළේය.
“කොච්චර යන්න කිව්වත් ගෝඨා ගෙදර යන්නේ නැහැනේ” කියා ප්‍රකාශකරන අයගෙන් තමන් පෞද්ගලීකව ගෝඨාභය පන්නා දැමීමට ඉදිරිපත් වුවා ද කියන ප්‍රශ්නය , ජාඇල ජීවත්වන දෙලක්‍ෂයකට අධික ජනතාවගෙන් විමසන බව ප්‍රකාශ කළ සිතුම් යුරාජ්, දැන්වත් සියලු ම පුරවැසියන් වහල් මානසීකත්වයෙන් ඉවත්වී, වහලුන් හෝ, යටත්වැසියන් සේ නොව පුරවැසියන් සේ අසමත් නායකයා පලවා හරිමින් පවතින පීඩිත තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදවා ගන්නට ඒකරාශි වන්නැයි ඉල්ලා සිටියේය.
“මේ ස්ථානය ජාඇල හැම දෙනාගෙමයි. මේක අපි හැමදෙනාගෙම ප්‍රශ්නයක්. අපේ රටේ ප්‍රශ්නයක්. ඒ නිසා හැමදෙනා ම එකතුවෙලා දුෂ්ට අසික්ඛිත දුර්දාන්ත පාලකයින් ව එලවා දමන හොඳම උත්සාහය වන මේ ජනතා අරගලය වටා එක්වන්න” යැයි ඉල්ලා සිටියේය.
“කොළඹ ගෝඨා ගෝ ගමෙත් , ජාඇල අලුතෙන් ආරම්භ කළ මේ ගෝඨා ගෝ ගමෙත් තරුණ තරුණියන් අද ඉටුකරන්නේ වසර 25කට එහා අපෙන් ගිලිහිණු විශාල වගකීමක්. මේ දුර්දාන්ත දේශපාලන ක්‍රමය අපි එදා දැක දැකත් අපි ඊට එරෙහිව පියවර ගත්තේ නැති නිසා තමයි අද තරුණයින්ට මේවගේ අරගලයක් ආරම්භ කරන්න සිද්ධ වුණේ. එසේ නැතිව මේ තරුණයින්ට කරන්න වැඩක් පලක් නැතිව නෙවෙයි. ඉගෙන ගන්න දෙයක් නැතිව නෙවෙයි.” යැයි අරගලයේ සංගීත වැඩසටහන ආමන්ත්‍රණය කරමින්, ජාඇල වෙළෙඳ සංගමයේ නියෝජිත මහේෂ් ලියනගේ ප්‍රකාශ කළා.
“80 දශකයෙන් පසුව මේ රට විශාල වශයෙන් දේශපාලන මංකොල්ල කෑම්වලට කොමිස් ගැහිලිවලට යොමුවෙච්ච රටක් වුණා. ඒක ප්‍රතිපල අද අපි හැමදෙනාම භුක්ති විඳිනවා. මේ රට මේ වගේ විනාශයකට පත්වුණේ සුනාමියෙන්වත්, කොරෝනා වසංගතයෙන්වත් , පාස්කු ප්‍රහාරයෙන්වත් නෙවෙයි , 70 වසරක් මේ රට හොරාකාපු දේශපාලකයෝ නිසායි.” ඔහු සඳහන් කළේය.
“ඒ දේශපාලන සංස්කෘතිය වෙනස්කරන්න තමයි අද තරුණ පරපුර තමන්ගේ කාලය වැයකරලා තියෙන්නේ. මේ තරුණයින් සමග රටේ අනෙක් සියලුම දෙනා පාරට බැස්සොත් , යන්න බැහැ කියන සියලුම දෙනාව පන්නා දැමීම ට පුලුවනි. ඒ නිසා මේ ජාඇල සමස්ත ජනතාවට අපි ආරාධනා කරනවා හැමදෙනාම මේ අගරලය වටා රොක්වන්න කියා.” අවධාරණය කළේය.
එමෙන්ම ගෝඨා ගො ගම – ජාඇල පරිශ්‍රයේදී පුස්තකාලයක් ද ආරම්භ කර කුඩා ළමුන්ට චිත්‍ර ඇඳිමේ අවකාශය උදාකර දුන් ජාත්‍යන්තර පාසැලක විදුහල්පතිනි වු හෙලන් ඩී බ්‍රිටෝ මහත්මිය ද මෙම අවස්ථාවෙිදි අදහස් දක්වමින් , අධර්මිෂ්ඨ පාලකයෙක් නිසා රටේ ජනතාව මේ අවස්ථාවේදි සුසුම්ලන බවත් යාඥවෙන් පමණක් දායක නොවී යහපත් සමරිතානුවරයෙක් සේ ඔවුන්ට උපස්ථාන කරමින් මේ අරගලය සමග එකතු වන්නැයි ජාඇල වෙසෙන කිතුනු ජනතාවට ආරාධනා කළේය.
“මේ රටේ අනාගතය , දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අද තරුණ තරුණියන් අපෙන් ගිලිහුණු වගකීමක් දරමින් සිටින නිසා, ඔවුන්ට ශක්තියක් වෙමින් මේ ජාඇල අරගල භුමිය රැකගන්න සියලුම දෙනා ජේසුස්ගේ නාමෙන් එක්වන්න කියා ඉල්ලා සිටිනවා.” යැයි ඇය ප්‍රකාශ කළේය.
අරගලයට සම්බන්ධ වන මිනිසුන්ගේ චිත්ත ධෛර්ය සහ කැපවීම වර්ධනය කිරීම මෙන් ම අරගලය දිනා ගැනිමේ දිශානතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් රවිත අරගල ගීත 14ක් ගායනා කරමින් ජයතිලක බණ්ඩාර සංගීතවේදියා ජාඇල ගෝඨා ගෝ ගම අරගල භූමිය තවත් ශක්තිමත් කරන්නට උත්සාහා කළේය.