ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා ශ්‍රී දළදා මාලිගාව, මල්වතු හා අස්ගිරිය මහා විහාරයට – මහනුවර වාර්තාකරු නිමල් කොළඹිස්ස

භාවිතයෙන් තොරව අත්හැර දමා තිබෙන රජයේ ඉඩම් තුළ වගා කිරීමේ නව වැඩසටහනක් දියත් කොට ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා පවසයි.මහජනයා වෙනුවෙන් වැඩ කිරීමට ඕනෑම මොහොතක සූදානමින් සිටින ශ්‍රී ලංකා යුද හමුදාව,වගා සංග්‍රාමයකට සූදානම් වී සිටින බව ද ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වන යුද හමුදාපතිධූරයට පත් ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත්තේය.දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නව යුද හමුදාපතිවරයා පිළිගත් අතර එහිදී ඒ මහතා දන්ත ධාතූන් වහන්සේ වන්දනා කිරීමට එක්විය.
අස්ගිරි මහා විහාරයට පැමිණි යුද හමුදාපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.මහා නායක හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන හිමියන් යුද හමුදාපතිවරයාට ආශිර්වාද පිරිත් සඤ්ඣායනා කළෝය.අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි යුද හමුදාපතිවරයා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මහා නායක හිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කළ යුද හමුදාපතිවරයා, ශ්‍රී ලංකා යුද හමුදාව වගා කටයුතු සම්බන්ධ අධ්‍යක්ෂ මණ්ඩලයකින් සමන්විත බවත් එහි භට පිරිස් මෙන්ම අමතර භට පිරිස් ද යොදවා වගා වැඩසටහන ක්‍රියාත්මක කරන බව කීවේය.යුද හමුදාව වගා කටයුතු සඳහා සහයෝගය ලබාදීම කාලෝචිත බව මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් ප්‍රකාශ කළ බව ද යුද හමුදාපතිවරයා කීවේය.
වසරකට ශ්‍රී ලංකා යුද හමුදාවේ සැලකිය යුතු පිරිසක් විශ්‍රාම යන බව කී ඒ මහතා ඊට සමානව බඳවා ගැනීම්, පුහුණුවීම් හා විදේශීය පුහුණු කටයුතු සිදුකරන බව ද කීහ.
විශ්‍රාමික යුද හමුදා සෙබළුන් හා ආබාධිත සෙබළුන්ගේ සුබ සාධනය වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා වැඩිදුරටත්
ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකා යුද හමුදාවේ මධ්‍යම පළාත් 111 සේනාංකාධිපති බ්‍රිගේඩියර් රෝහිත බණ්ඩාර රත්නායක මහතා ඇතුලු යුද හමුදා නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.