පකිස්තානයත් ලංකාවේ සහයට – මහනුවර වාර්තාකරු

සමස්ත ලෝකයම ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට එය තරමක් වැඩියෙන් දැනී තිබෙන බවත් ඉතා කෙටි කාලයකදී මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවත් ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජනරාල් උමාර් ෆාරුක් බුර්කි (Umar Farook Burki)මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සහයට අතීතයේ පටන් පකිස්තානය සිටි බවත් එලෙසින්ම මෙම බැරෑරුම් අවස්ථාවේ ශ්‍රී ලාංකික සහෝදර ජනතාවට හැකි උපරිමයෙන් පකිස්තාන රජය ආධාර උපකාර කරන බවත් ඒ මහතා කීය.
මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී ඊයේ (09) පස්වරුවේ පැවැති උත්සවයකදී මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේය.
ජුම්මා පල්ලියේ පවත්වාගෙන යන පරිගණක සහ කාන්තාවන් සවිබලගැන්වීමේ ඒකකයට පකිස්තාන රජය මගින් පරිගණක සහ මහ මැෂින් ලබාදීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
දේශපාලනඥයෙකු නොවන තමන් ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කැමැත්තක් නොමැති බවත් ඒ පිළිබඳ කතා කරන්නට දේශපාලනඥයින් සිටින බවත් කී ඒ මහතා මෙම බැරෑරුම් අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කළ හැකි සියලු ක්ෂේත්‍ර පිළිබඳව පකිස්තාන රජය අවධානයෙන් සිට අදාළ කටයුතු සිදුකරන බවද අවධාරණය කළේය.
පකිස්තානය සෑම විටම ශ්‍රී ලංකාවේ ජනතාව සලකනු ලබන්නේ පකිස්තාන ජනතාවගේ සහෝදර සහෝදරියන් ලෙස බවද මහකොමසාරිස් වරයා පැවසුවේය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *