පේරාදෙණියේ ඉංජිනේරු සිසුවා සොයා ගැනේ – මහනුවර වාර්තාකරු

පේරාදෙණිය පාලමෙන් මහවැලි ගඟට පනින ලද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ සිසුවාගේ මෘතදේහය අද (31) පාලමේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරින් වූ හක්කිඳ දූපත් සමූහය ආසන්නයේ තිබී සොයාගත් බව පොලීසිය පවසයි.
මෙම සිසුවා පසුගිය 26 දින පස්වරු 3.00 ට පමණ පාළමෙන් පැන තිබෙන අතර මළ සිරුර හමුවූයේ සිද්ධියෙන් දින පහකට පසුය.
ඒ වනවිටත් සිරුර බෙහෙවින් නරක්ව තිබූ බව පොලීසිය පවසයි.
ගමන් බෑගය පාලම අසළ තබා සිසුවා පාලමෙන් පහළට පනිනු දුටු පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් පොලිස් ජීවිතාරක්ෂක ඒකකය හා නාවික හමුදාව සිරුර සෙවීම සඳහා දින පහක් තිස්සේ මෙහෙයුම් දියත් කරනු ලැබීය.
මියගොස් ඇත්තේ නුවන් ලක්ෂිත දේවසුරේන්ද්‍ර නැමැති 24 හැවිරිදි සිසුවෙකි.ඔහු ඇහැලියගොඩ බුළුගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.කොළඹ රාජකීය විදුහලින් උසස් පෙළට පෙනීසිට ඉහළම ඉසෙඩ් ලකුණු ප්‍රමාණයක් ලබාගෙන මොහු ඉංජිනේරු පීඨයට තේරී පත්ව තිබෙන බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ඉංජිනේරු පීඨයේ තෙවන වසරට අදාළ විභාගයකට පෙනීසිට නිවෙස බලාගොස් තිබෙන සිසුවා මහවැලි ගඟට පැන ඇත්තේ නැවත විශ්ව විද්‍යාලයට එන අතුරතුර බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
මිතුරන් තිදෙනෙකු සඳහා කෑම පාර්සල් තුනක්ද රැගෙන පුතා නිවසින් පිටව ගිය බව සිසුවාගේ මව ප්‍රකාශ කර ඇත.
පාලම අසළ තිබූ ගමන් බෑගයේ සිසුවාගේ ලැප්ටොප් පරිගණකය,විශ්ව විද්‍යාල හැඳුනුම්පත හා නිවසින් රැගෙන ආ බව කියන කෑම පාර්සල් තුනද තිබූ බව පොලීසිය පවසයි.
මෙම සිසුවා ආතිතය සඳහා ඖෂධ ලබාගෙන තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණියේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙයි.