මැරෙන්න ගිය සිය ගණනකට යලි ජිවය දුන් රාසික් තම්බි – කාංචනා චන්ද්‍රපාල

මහ පොළවේ පය ගහලා දෙපයින් හිටගෙන ඉන්නකං තමයි මහත්තයෝ මේ ජාති,ආගම්,කුලමල බේද ඔක්කොම. ගඟට වැටිලා ජීවිතයයි මරණයයි අතර සටන් කරන කොට මේ ඔක්කොම දේවල් යට ගිහිල්ලා ජීවත් වෙන්න තියෙන ආසාව උඩට එනවා..ඒ වෙලාවට ගඟේ ඉන්න කෙනා මගේ ජාතිය,ආගම බලන්නේ නැතුව කරේ එල්ලෙනවා. මහ පොළවේ පය ගහලා ඉන්නකොටත් මේ විදිහට අපිට හිතන්න පුළුවන් නම් මේ ජාති,ආගම් බේද ඇති කරගෙන මිනිස්සු මරා ගන්නේ නැහැ මහත්තයෝ. මහවැලි ගඟේ ගිලී මිය යන්නට ගිය පන් හය සීයකට පමණ යළි ජවිතය දුන් මොහොමඩ් අලී රසීක් ෆරීඩ් පවසයි.රාසික් තම්බි ලෙස කා අතරත් ප්‍රසිද්ධ ඔහුගේ නවාතැන කොළඹ නුවර පාරේ පේරාදෙණිය ආසන්නයේ මහවැලි ගඟට යාබද ස්ථානයකි. ගඟේ සිට මීටර සියයක පමණ දුරින් නිවස පිහිටා තිබීම නිසා රාසීක්ට කුඩා කළ සිටම ගඟේ දියරැලි මුවක හසරැලි තරම් සමීප වූවේය.

ගඟට වැටුණු පන් හයසීයක් විතර මං ගොඩ අරන් තියෙනවා.පේරාදෙණිය පාළමෙන් රෑ මැදියම ගඟට පනින සමහරුන්ගේ මළ කඳන් තමයි උදේට ගොඩට ගේන්නේ.මැරෙන්න කියලා හිතලා ගඟට පනින ඕනම කෙනෙක් වතුරේ ගිලෙනකොට බේරෙන්න දඟලනවා.ඒ කෙනා සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා ගඟට වගක් නැහැ.ගඟ බලන්නේ ඕනම කෙනෙක් තුරුලට ගන්න.ගඟත් එක්ක පොර බදලා ගිලෙන්න යන කෙනෙක් බේර ගන්න එක ලේසි නැහැ.එක මොහාතක වරදකින් මගේ ජීවිතෙත් නැති වෙන්න පුළුවන්.දියේ ගිලෙන කෙනා බලන්නේ අහුවෙන දේ එල්ලෙන්න.අපි ඒක නොදැන ගියොත් අමාරුවේ වැටෙනවා.මොකද ගිලෙන කෙනා අපේ ඇඟේ එල්ලෙනවා.එතකොට අපිට පීනගන්න බැරි වෙනවා.මම උපතින් ඉස්ලාම් භක්තිකයෙක් වුනාට මගේ යාළුවෝ ගොඩක් සිංහල අය.පාස්කු ප්‍රහාරයත් එක්ක මුස්ලිම් ජනතාව දෙස සිංහල ජනතාව සැකයෙන් බලන්න පටන් ගත්තා.ගඟට වැටුණු කෙනෙක් බේරගන්න ගියාම මම කවදාවත් ජාතිය,ආගම බැලුවේ නැහැ.අපි හැමෝම මිනිස්සු.මගේ අම්මා තාත්තා මුස්ලිම් නිසා මම මුස්ලිම් වුණා.සිංහල අයත් එහෙමයි.පුංචි පුංචි දේවල් නිසා අපි මනුස්සකම් අතහැරලා ජාති වශයෙන් බෙදෙනවා නම් අපි හැමෝම පරදිනවා…රාසික් පවසන්නේ වයස අවුරුදු දහයක පමණ තරම් වයසේ සිට ගඟේ සැඟවී යන්නට ගිය මිනිස් ජීවිත බේරා ගැනීමට කටයුතු කිරීමෙන් ලත් අත්දැකීම් සමඟය.

මට දැන් අවුරුදු පනස් දෙකක් වෙනවා.දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා.මගේ නෝනා සිංහල කෙනෙක්.එයාගේ නම සුමිත්‍රා.ආදරයට ජාති,ආගම් කුල බේද නැහැ.සුමිත්‍රාව දැක්කම මට ආදරයක් ඇති වුණා.අපි විවාහ වුනේ 1995 දී.ලොකු පුතාට දැන් අවුරුදු 20 ක් වෙනවා.අනිත් දෙන්නා දියණියන්…..
තුනේ පන්තියෙන් පාසැල් ගමන නිමාකළ රාසික්ගේ ජීවන වෘත්තිය යතුරු පැදි අලුත්වැඩියා කිරීමය.ඔහුගේ පියාගේ මස්සිනා සතු ගරාජයෙන් මෝටර් බයිසිකල් හදන්න ඉගෙන ගත් ඔහු අද තමන්ගේම කියා ගරාජයක් පේරාදෙණියේ පවත්වා ගෙන යයි.යතුරු පැදියක් හදමින් ඉන්න විට කවුරුන් හෝ ගඟට පැන්නොත් කාගේත් මතකයට එන්නේ රාසික්වය.රාසික් මිනිහෙක් ගඟට පැනලා යැයි ඇසුණු සැනින් ඔහු දෙවරක් නොසිතා ගඟ කරා දිවයන්නේ මොහොතක ප්‍රමාදය ජීවිත්යක් අහිමි වීමට හේතුවන බව අත්දැකීමෙන් දන්නා බැවිනි.

මමයි,චූටියයි,අතුලයි,ඩොරිසුයි,සනයි,ගාමිණියි,උක්කුනුයි,මෝගනුයි අපි හැමෝම පුංචි කාලේ දවසම ගත කලේ ගඟේ.සෙල්ලම් කළේ ගඟේ ගල් අස්සේ.එදා ඉඳන් මේ ගඟේ පුංචි වෙනසක් වුණත් අපිට දැනෙනවා.ෙඒ කාලේ වන්දනා නඩ ඇවිත් ගම්පොළ පාරට හැරෙන තැන තියෙන ලොරි ස්ටෑන්ඩ් එක ලඟින් පහළට බැහැලා නානවා.පිටින් එන අය ගඟේ තරම දන්නේ නැහැ.වතුරේ ටිකක් ඈතට ගිය ගමන් ගිලෙනවා.බේර ගන්න කියලා කෑ ගහනකොට අපි ගිහින් ගොඩට ඇදන් එනවා.ගිලුණු කෙනාව බේර ගත්තම වන්දනා නඩේ අනිත් අය අපිට පින් දෙනවා.ඒ කාලේ මේක විනෝදයක් වුණා.සතියකට දෙන්නෙක් තුන්දෙනෙක් අපි බේර ගන්නවා.
කොල්ලා කෙල්ලට බූට් එක තිබ්බම කෙල්ල ගඟට පනිනවා.කෙල්ල කොල්ලට බූට් එක තිබ්බම කොල්ල ගඟට පනිනවා.විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න ළමයි ගඟට පනින අවස්ථා තියෙනවා.මම ගොඩක් අයව බේරගෙන තියෙනවා.අද ඒ අය ලොකු රස්සාවල් කරනවා ඇති.මම ගඟට පැනලා දහස් ගානක් බේර ගත්තත් ඒ අය අතරින් තාමත් මාව බලන්න එන්නේ එකම එක්කෙනයි.ගඟට පැනලා ජීවිතේ බේරුනාට පස්සේ ගොඩක් අය තමන් ගත්ත තීරණය ගැන දුක් වෙනවා.ඒ සිද්ධිය යළි සිහිපත් කරන්නවත් මේ අය කැමැති නැහැ.පවුල් පන්සල් වුනාම තමන්ගේ අතීතිය යළි ඉස්මතු වෙනවාට.ඒ නිසා කවුරුවත් මාව බලන්න නොඑන එකගැන මම දුක්වෙන්නේ නැහැ…

රාසික් බේරාගත් බොහෝ දෙනා ගඟට පනින ලද අයයි.ගඟට වීසි කරන ලද පුද්ගලියන් පස් හය දෙනෙකු බේරාගෙන තිබෙන ඔහු එම අත්දැකීම මෙසේ විස්තර කළේය…1988 භිෂණ කාලේ පේරාදෙණිය පාළම උඩට තරුණයින්ව ගෙනල්ලා ගඟට වීසි කරනවා.ඒ අයට හොඳටම පහර දීලා තමයි ගඟට දාන්නේ.සමහර අයගේ ඔළුව නැහැ.සමහර අයගේ අත්පා නැහැ.වතුරට දාන්න කලින්ම ඒ අයව මරනවා.දවසක් තරුණයෝ හතර දෙනෙක් පාළම යට වැටිලා හිටියා.මම ගිහින් බලන කොට ඒ අයට පණ තිබුණා.ගහලා වතුරට දානකොට පාළම යට වතුර නැති තැනකට වැටිලා.මම ඒ අයව ගොඩට ගෙනත් රෝහලට අරන් ගියා.ඊට පස්සේ මොනවා වුනාද දන්නේ නැහැ.
මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට ගොස් ඔහු මුහුණ දුන් අපූරු සිදුවීම් රැසකින් රාසික්ගේ ජීවිතය පිරී තිබේ.දවසක් පාළම උඩ මිනිස්සු කෑගහනවා ඇහිලා මම ගඟ දිහා බැලුවා.මනුෂ්‍යයෙක් ගඟේ දඟලනවා වගේ දැක්කා.මම දෙවරක් නොහිතා ගඟට පැනලා මනුස්සයව ගොඩට ගෙනාවා.ගොඩට ගෙනාපු ගමන් පොලීසිය ඇවිත් මිනිහව අල්ලා ගත්තා.බලන කොට මිනිහා පොලිසියෙන් බේරිලා පැනලා යන්න ගඟට පැනලා තියෙන්නේ.මුනුස්සයා මට බැණ බැණ තමයි එතනින් ගියේ.

මං කැමතියි මගේ පුතා මා එක්ක ඇවිත් මේ වැඩේ ඉගෙන ගන්නවා නම් .මොකද මං මැරුණ දවසක මේ ග‍ඟට වැටෙන අය බේරා ගන්න කවුරු හරි ඉන්න ඕන. ඒත් ප්‍රශ්නේ දැන් ගඟත් මිනිස්සු වගේ හිටි හැටියේ දරුණු වෙනවා.ඉස්සර එහෙම නැහැ.අපේ දරුවෝ වැල්ලෙම නැටුවේ නැහැ.පුතාට අනතුරක් වුණොත් මම ජීවත් වෙලා වැඩක් නැහැ.මට ජීවිතේ කියා දුන්න මේ ගඟ නිසා මට මේ ලෝකේ දරුණුම පීඩාව ලැබුණොත් මං මේ ගෙවපු ජීවිතේ තේරුමක් නැති වෙනවා මහත්තයෝ යැයි රාසික් පැවසුවේ දියයට සිට ගොඩට පැමිණ හෙළන සුසුමකටත් වඩා දිගු සුසුමක් හෙළමිනි…

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *