ජනතා පැතුම දුෂිත දේශපාලකයන් නැති රටක් -පාඨලී චම්පික කියයි –

ජනතාව අපේක්ෂා කරන්නේ රට බංකොලොත් කිරීමට දායක වූ දූෂිත දේශපාලනඥයින් ගෙන් නිදහස් රටක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ගොඩනැගෙන සර්වපාක්ෂික හෝ බහුපාක්ෂික ආණ්ඩුව දූෂිතයන් ගෙන් තොරව ගොඩනැගීමේ වගකීම ජනපති සතු බවත් එසේ නොවුණහොත් ආණ්ඩුව කෙරෙහි පවතින ජනතා විශ්වාසය බිඳවැටිය හැකි බවත් ඒ මහතා කීය.

මහනුවරදී  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
අරගලයට සම්බන්ධ වූ පුදගලයින් විවිධ හේතු දක්වමින් සිදු කරන මර්දනකාරී වැඩපිළිවෙළ නතර කළ යුතු බවද ඒ මහතා කීවේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
රට බංකොලොත් කළ රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයින් නිදැලේලේ සිටියදී ඒ බංකොලොත් භාවය නිසා තමන්ගේ ජීවිත විනාශ වීම පිළිබඳව පාරට බැහැපු මිනිස්සුන්ට දඬුවම් කිරීම කිසිසේත්ම පිළිගත නොහැකියි. ආණ්ඩුවේ අභියෝගය තමයි ජනතා විශ්වාසය දිනා ගැනීම. ජනතා විශ්වාසය දිනා ගැනීමට නම් මර්දනය නතර කළ යුතුයි.යම් කෙනෙක් නීතිය ඉක්මවා ක්‍රියා කරනවා නම් එය වැලැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුත් විරුද්ධ නැහැ. යුක්තිසහගතව,සාධාරණව සැමට එක හා සමානව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. මේ රට අගාධයට ගෙන යෑමට මුල්වූ රාජපක්ෂවරු නැවැත වතාවක් දේශපාලන කරළියට ඇවිත් කටයුතු කරන අයුරු දැන දකින්න ලැබෙනවා. නැවත වතාවක් තමන්ගේ දූෂිත චර්යාවන් කරගෙන යෑමට ඔවුන් උත්සහ කරනවා. තෙල්, ගෑස් මිලදී ගැනීම් වලට මෙන්ම අධිවේගි මාර්ග නැවැත ආරම්භ කිරීමට උත්සහ කිරීම තුළ ගොඩනැගෙන ආණ්ඩුව කෙරෙහි මහජන විශාවසය කඩවී ඉතාමත් භයානක තැනකට ගමන් කිරීමේ අවධානමක් තිබෙනවා. ගොඩනැගෙන බහුපාක්ෂික හෝ සර්වපාක්ෂික ආණ්ඩුව දූෂිතයින් ගෙන් හා රාජපක්ෂවරුන් ගෙන් තොරව ගොඩනැගීමේ වගකීම ජනපතිවරයාට පැවරෙනවා.එසේ නොවුණහොත් ඒ පිළිබඳව මූලික විශ්වාසය බිඳ වැටිය හැකියි.

අද රටේ ජනතාව දේශපාලනඥයින් ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදර්ශයක්.දූෂණ චෝදනා වලට ලක්වූ රට බංකොලොත් කරන්න මැදිහත් වූ දේශපාලනඥයින් ගෙන් නිදහස් වූ රටක්. එසේ නොවුණහොත් සිදුවන්නේ කවුරු මොන මර්දනය ගෙනිච්චත් නැවත ජනතාව අරගලයට යොමු වීමයි.ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග වලට ඉඩකඩ සලකන එක තමයි මේකෙන් වෙන්නේ.

පාර්ලිමේන්තුව නියෝජනය වන සියලුම පක්ෂවල නාකයින්ගේ සමන්විත පොදු වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන.දූෂණ චෝදනා නොමැති කාර්යසූරත්වය මත පදනම්ව අත්දැකීම තිබෙන පිරිසක ගෙන් සමන්විත ඇමැති මණ්ඩලයක් පත් කිරීම තමයි වැදගත්. පාර්ලිමේන්තුවේ නිලතල හොබවන්නේ නැති මන්ත්‍රීවරු මේ අමාත්‍යාංශ අධික්ෂණය සඳහා අනුයුත්ක කරන්න ඕන.දේශපාලනය පදනම් කරගනිමින් විශේෂ රාජ්‍ය ආයතන වලට පත්කර තිබෙන පුද්ගලයින් ඉවත් කරලා කරන්න ඕන. රාජ්‍ය බැංකු වලට දේශපාලනයෙන් තොර හොඳ වෘත්තිය මට්ටමේ සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල පත් කරන්න. ලංකා විදුලි මණ්ඩලය,ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය හා ඖෂධ නීතිගත සංස්ථාවටත් ඒ විදිහටම වෘත්තිය මට්ටමේ නායකත්වයක් පාලනයක් අවශ්‍යය යි. දැනට මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය හා සමාන විශ්වාසයක් අනෙකුත් රාජ්‍ය ආයතන වල සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කෙරෙහිත් ජනතාව තුළ ඇති විය යුතුයි.රට ඉදිරියට ගෙන යෑමට ඒක අත්‍යවශයයි.

විධිමත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටු වන්න ජනපතිවරයා අවංකය කටයුතු කරනවා නම් වගකීම් බාරගෙන වැඩ කරන්න අපි සූදානම්. රාජ්‍ය ආයතන පාලනය බාරදිය යුත්තේ වෘත්තියවේදීන්ටයි. දූෂිත ලේකම්වරු තියාගෙන දූෂිත නිලධාරීන් හා දේශපාලන හෙන්චයින් තියාගෙන තව තවත් එවැනි අයට පත්වීම් ලබා දෙමින් ජනතා විශ්වාසය දිනාගත නොහැකියි.දූෂිත පිරිස් පිටුපස සිට පාලනය කරන ආණ්ඩුවකට සහය දුන්නොත් අවසානයේ සිදුවන්නේ අපත් අමාරුවේ වැටී රටත් අමාරුවේ වැටීමයි. අපි කියන ආකාරයේ විධිමත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පත් කරනවා නම් එතනදී වගකීම් බාර ගන්න සූදානම්.

අපි වේදිකා දෙවනත් කරමින් කතා කරන කතා කාරයෝ නෙවෙයි.අපි රාජ්‍ය ආයතන විධිමත්ව පාලනය කරලා ගොඩනගපු අයයි.උතුරේ ත්‍රස්තවාදීන්ට දුරකතන සන්නිවේදන උපකරණ ලබාදුන් අය අද ඇමැති ධූර වල ඉන්නවා. ත්‍රස්තවාදීන්ව එවැනි ඇමැති ධූර වලට පත්කර තිබෙනවා.එසේ තිබියදී පෙළපාලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පාවිච්චි කරලා මර්දනයක් කරන්න යාමෙන් රට ඇතුළේ පමණක් නොව ජත්‍යන්තරය තුළත් ආණ්ඩුව කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටෙනවා.

ජනාධිපතිවරයාගේ ඇඳේ නිදා ගත්ත කෙනා හෝ මන්දිරයට ඇතුළු වුණේ කවුද කියලා හොයන්න පොලීසිය හා දහස් ගණන් ඔත්තු සේවා නිලධාරීන් යොදවත්දී මහ දවල් මිනිස් ඝාතන කරන පාතාල කල්ලි,මංකොල්කාරයින්,රට බංකොලොත් කළ දූෂිතයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන බවක් පේන්න නැහැ.මේවයින් සිදුවන්නේ මහජන කෝපය තවත් ඉහළ යාමයි.ප්‍රජතන්ත්‍රවිරෝධීව මේ ප්‍රශ්න විසඳන්න යෝජනා ඉදිරිපත් කරන අය බලවත් වීම තමයි මේකෙන් වෙන්නේ.

පෞද්ගලීකරණය කියන්නේ කෝකටත් තෛලය නෙවෙයි.එසේ සිදුකර සාර්ථක වූ ආයතන මෙන්ම අසාර්ථක වූ ආයතනද තිබෙනවා.රක්ෂණ සංස්ථාව දේශපාලන හිතවත්කම් මත 2002 දී බලවත් ව්‍යාපාරිකයෙකුට දුන්නා.ඔහුට එරෙහිව අධිකරණ නියෝගයක් පවා දුන්නා.ඒ ආයතනය පිරහීමට ලක්වුණා. විදුලි බල මණ්ඩලය පුද්ගලීකරණය කරන්න කතා කරනවා.ඒක ගන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ.මොකද රුපියල් බිලියන 500 කට වඩා ණයයි.ශ්‍රී ලංකන් ගුවන් සේවය ණය බරත් එක්ක ගන්න එන්නේ නැහැ.ගෝඨාභට රාජපක්ෂ හිල්ටන් ,හයට් පමණක් නොව පොලිස් මූලස්ථානය පවා විකුණනන් ගියා.කවුරුවත් ගන්න ආවේ නැහැ.

විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම නව සන්ධාන හදන්න කලින් මුලින් ජනතාව ගෙන් සමාව ගන්න ඕන.රාජපක්ෂ පවුලේ නොතිබුණු ගුණ ඔවුන් ගායනා කළා. ඒ අය ලී ක්වාන් යූ, මහතීර්ලා මොහොමඩ්, දුටු ගැමුණු, ධර්මපාලලා ට සම කරමින් ජනතාව නොමග යවපූ අය ජනතාවගෙන් සමාව අරගෙන සන්ධාන හදන්න ඕන.සමාන අදහස් දරන පාර්ලිමේන්තුවේ මෙන්ම පිටත ඉන්න පිරිස් ඒකාබද්ධ කරගෙන ජනතාවට අලුත් බලාපොරොත්තුව ඇතිව ඉදිරියට යන්න අපි සැළසුම් කර තිිබෙනවා.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *