පේරාදෙණියට අපල කාලයක් – මහනුවර වාර්තාකරු

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් පිරිසක් නවාතැන් ගෙන සිටි හිඳගල ප්‍රදේශයේ පෞද්ගලික නේවාසිකාගාරයක ඇතිවූ හදිසි ගින්නකින් එහි එක් කාමරයක් මුළුමනින්ම පිළිස්සී තවත් කාමර දෙකකට දැඩි හානි සිදුව ඇත.
ගින්න ඇතිවන අවස්ථාවේ නේවාසිකාගාරයේ කාමර හයක් තුළ සිසුවියන් 23 දෙනෙකු නවාතැන් ගෙන සිට ඇති බව පොලීසිය පවසයි.
ගින්න 19 දා රාත්‍රී 7.30 ට පමණ ඇතිව තිබේ.නේවාසිකාගාරයට යාබද රූපලාවන්‍යාගාරකින් ගින්න ආරම්භ වී තිබෙන බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
ගින්න පැතිර යාමත් සමඟ සිසු පිරිස කාමර වලින් පිටතට පැන දිවි බේරාගෙන ඇතත් ඔවුන්ගේ ලැප්ටොප් උපකරණ ඇතුළු සියලු භාණ්ඩ ගින්නට අසුවී විනාශ වී තිබේ.
විශ්ව විද්‍යාලයේ කළමනාකරණ,විද්‍යා හා ශාස්ත්‍ර පීඨවල දෙවන වසරේ සිසුවියන් පිරිසක් මෙහි නවාතැන් ගෙන සිට ඇති බවත් දුම ආඝ්‍රාණය වීමෙන් හුස්ම ගැනීමේ අසීරුතාවට පත්වූ එක් සිසුවියක් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ කාමරයේ සිටි සිසුවියන් පස් දෙනෙකුට අයත් ලැප් ටොප් යන්ත්‍ර පහක් දැවී පිළිස්සී ඇති අතර ඔවුන්ට ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණක් බව විශ්ව විද්‍යල පරිපාලනය පවසයි.
ගින්නෙන් සියලු බඩු භාණ්ඩ අහිමි වූ සිසුවියන්ට උපකුලපති අරමුදල මගින් එක් අයෙකුට රුපියල් 7500 බැගින් සිසුන් 10 දෙනෙකුට මූල්‍යාධාරයක් ලබාදීමට උපකුලපතිවරයා පියවර ගෙන තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ සෙවීමට රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට පොලීසිය පියවර ගෙන ඇත.
විශ්ව විද්‍යාලය අවට නේවාසිකාගාර බොහොමයක් නිසි ප්‍රමිතියෙන් තොර බවත් මේවා සම්බන්ධව නිසි නියාමනයක් සිදුවිය යුතු බව සිසුන්ගේ දෙමව්පියෝ පවසති.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *