මහනුවර ඇසළ පෙරහරින් මතුවන සිංහල දෙමළ සංස්කෘතික බැඳීම – කාංචනා චන්ද්‍රපාල

????????????????????????????????????
දළදා මැදුරට එල්ල වූ බෝම්බ ප්‍රහාරය
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ 1998 ජනවාරී මාසේ 25 වෙනිදා. බෝම්බ ඇටවූ ලොරියක් දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩේ හප්පලා සිදුකළ මේ ප්‍රහාරයෙන් දළදා මාලිගාවට ලොකු හානියක් වුණා. එදා උදේ පාන්දර දළදා වඳන්න ආපු 16 දෙනෙකුට ජීවිතත් අහිමි වුණා. මේ ප්‍රහාරයෙන් පස්සේ මුළු නුවරම කලබල වුණේ කඩි ගුලක් ඇවිස්සුණා වගේ. ලෝකය පුරා ජීවත් වෙන බෞද්ධයින් මුදුන් මල්කඩ ලෙස සලකා වැඳුම් පිදුම් කරන ස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීම ගොඩක් අයට දරා ගන්න අමාරු වුණා.
මේ නිසා සමහරු කලබල වෙලා නුවරට එන්න ගත්ත උත්සහය වලක්වන්න පොලීසිය ලොකු මහන්සියක් ගත්තා. මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ එල්.ටී.ටී.ඊ සාමාජිකයා බෝම්බය අටවපු ලොරිය ගෙනත් හප්පලා තිබුණේ මාලිගාවට ඇතුළු වන ප්‍රධාන වාහල් කඩ ළඟමයි. මේකට ආධාර අනුබල දුන්න දෙතුන් දෙනෙක් ප්‍රහාරය සැළසුම් කරලා තියෙන්නේ මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේ නවාතැන් අරගෙන කියලා කට කතාවකුත් පැතිරිලා ගියා. මහනුවර සෙල්වවිනයාගර් කෝවිලයි මේ හින්දු සංස්කෘතික ශාලාවයි අතර ලෙකු සම්බන්ධයක් තිබෙනවා.
ඒ කෝවිළේ දායකයෝ ගොඩක් හින්දු සංස්කෘතික ශාලාවේ පාලක සභාවේ නියෝජිතයෝ නිසා.දළදා මාලිගාවට එල්ල වූ ප්‍රහාරයත් එක්ක කෝපවූ බෞද්ධ කණ්ඩායම් මේ නිසා කෝවිලට ප්‍රහාරයක් එල්ල කරන්න උත්සහ කරලා තිබුණා.පොලීසිය මේක කලින් දැනගෙන ආරක්ෂාව වැඩි කරපු නිසා වෙන්න ගිය ලොකු විනාශයක් වලක්වා ගන්න පුළුවන් වුණා. මාලිගාවට එල්ල කරපු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් විදිහට කෝවිලට ප්‍රහාරයක් එල්ල කරන්න සූදානමක් තිබුණත් අපි කවුරුත් නොදන්නා අපූරු බැඳීමක් මේ සිද්ධස්ථාන දෙකේ තියෙනවා.මහනුවර ඇසළ පෙරහරත් එක්ක තමයි අපිට ඒ බැඳීම දෑසින් දකින්න ලැබෙන්නේ.
පෙරහර විචිත්‍රවත් කරන සංස්කෘතික වෙනස්කම්
ශ්‍රී දළදා වහන්සේටත්,නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සිව් මහ දෙවිවරුන්ටත් පූජෝපහාරයක් ලෙස හැම අවුරුද්දෙම පවත්වන පෙරහර උඩරටට ආවේනික ගායන,වාදන හා නර්තන වලින් තමයි හැඩ වෙන්නේ. මේ මතුපිටින් පෙනෙන විචිත්‍රත්වයට වඩා වැඩි සුන්දර ජාතික,ආගමික හා සංස්කෘතික බැඳීම් ගොඩක් පෙරහර අභ්‍යන්තරයේ දකින්න පුළුවන්.පෙරහර බලන බොහෝ දෙනෙකුට නොපෙණෙන ඒ බැඳීම් අද ඊයෙක ආරම්භ වෙච්ච ඒවා නෙවෙයි. ඒවා රජ කාලය දක්වාම ඈතට දිවයනවා. බෞද්ධාගමිකයින්ගේ උත්සවයක් ලෙස ප්‍රකට මහනුවර පෙරහරේ දෙමළ ජනතා සහභාගිත්වය වඩාත් කැපී පෙනෙන්නේ කතරගම දේවාළ පෙරහරේ. ජාතීන් අතර පවත්නා සංස්කෘතික වෙනස්කම් කලා ශිල්පීන්ගේ කුසලතා විදිහට මතුවෙලා අමුතුම ලස්සනක් පෙරහරට ලැබෙනවා. ජාතික හා ආගමික සමඟිය හා සංහිඳියාව වැඩී කිරීමට හේතුවන සිරිත් ගොඩක් රජ දවස පටන් අදත් පෙරහර සංස්කෘතිය තුළ ආරක්ෂා වී තිබෙනවා.
කරඬුව වැඩම කරන්න රන් සළුව පූජා කරන්නේ පුල්ලියාර් කෝවිලෙන්
මුලින් කිව්වා වගේ මහනුවර පෙරහරේ දළදා මාලගාව,නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි කියන දේවාල පෙරහර ගමන් කරනවා.මහනුවර ශ්‍රී සෙල්වවිනයාගර් කෝවිළ එහෙම නැත්නම් කවුරුත් හොඳට දන්න පුල්ලියාර් කෝවිල පෙරහරට කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැහැ.
ඒත් මේ කෝවිලේ භාරකාර තුමන් ඇතුළු හින්දු පූජකා තුමන්ලා අන්තිම රන්දෝලි පෙරහර ගමන් ආරම්භ කරන්න කලින් දළදා මාලිගාවට පෙරහරකින් යනවා.එහෙම ගිහිල්ලා හින්දු ආගමික චාරිත්‍ර ඉටු කරලා දියවඩන නිළමේතුමන්ට පෙරහර සාර්ථකව පවත්වන්න ආශීර්වාද කරනවා. එදා දවසේ පෙරහර කරඬුව වැඩ සිටින මාලිගාවේ ඉඳලා ඇතා තැන්පත් කරන තැන දක්වා අරගෙන එන්න මේ අය රන් සළුවකුත් පූජා කරනවා. මේ චාරිත්‍රය මෙදා අන්තිම රන්දෝලි පෙරහර දවසෙත් ඒ විදිහටම සිද්ධ වුණේ බෞද්ධ හා හින්දු ජන කොටස් අතර තියෙන සම්බන්ධතාව තව තවත් වැඩි කරවමින්.
රජකාලේ පටන් පැවත එන සහජීවනය
ශ්‍රී සෙල්ව විනයාගර් කෝවිලේ ප්‍රධාන භාරකාර ක්‍රිෂ්ණමූර්ති ගෝවින්දසාමි මහතා මේ සහජීවනය ගැන අපිට පැහැදිලි කළේ මෙහෙමයි… මහනුවර කියන්නේ රජ කාලේ ඉඳලා සියලු ජාතීන් එකට ජීවත් වුණ නගරයක්.ඇසළ පෙරහර කියන්නේ මුළු ලෝකයේම අවධානය මහනුවරට යොමුකරවන උත්සවයක්. ජාතීන් අතර තියෙන බැඳීම්,සහජීවනය වැඩි වෙන්න හේතු වෙන දේවල් ගොඩක් පෙරහරේ සිදුවෙනවා. අලි අතුන් හා ශිල්පීන් ගැන වැඩිපුර කතා කරන මේ රටේ ජනමාධ්‍ය වල ඇස් මේවාට යොමු වෙන්නේ හරිම අඩුවෙන්. මහනුවර දේවාල පෙරහර පවත්වලා තියෙන්නේ දළදා වහන්සේ කන්ද උඩරටට වැඩමවන්නත් කලින්.
දළදා වහන්සේ මහනුවරට වැඩම කළාට පස්සේ උන්වහන්සේට තියෙන ගෞරවය නිසා දේවාල පෙරහර අවසන් වුණාට පස්සේ ප්‍රධාන පූජකවරු ඇතුළු කණ්ඩායමක් පෙරහරින් දළදා මාලිගාවට ගිහින් දළදා වහන්සේට පුදපූජා පවත්වලා තියෙනවා. දළදා මාලිගාවේ පෙරහර දේවාල පෙරහර එක්ක එකතු වුණාට පස්සෙත් දළදා මාලිගාවේ පෙරහර නොපැවැත්වුණු කාලයේ පැවැති චාරිත්‍රය ඒ ආකාරයෙන්ම කරන්න පූජකවරු පියවර ගෙන තිබෙනවා. ඇසළ පෙරහර මංගල්ලයේ අන්තිම රන්දෝලි පෙරහර වීදී සංචාරය කරන්න කලින් පුල්ලියාර් කෝවිලේදී පෙරහර වෙනුවෙන් විශේෂ පූජාවක් පවත්වනවා.පසුව ප්‍රධාන භාරකරු,පූජකවරු ඇතුළු සිය දෙනෙකු ගෙන් පමණ සමන්විත කණ්ඩායමක් දළදා මාලිගාවට පෙරහරකින් ගිහින් දියවඩන නිළමේ තුමන්ට දමිළ චාරිත්‍රානුකූලව සළු පොරවලා පෙරහර කිසිදු කරදරයක් බාධාවක් නැතුව හොඳින් අවසන් කරන්න ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා.
පෙරහර සමඟ කෝවිලේ සම්බන්ධය
මුල් කාලයේ නාථ,විෂ්ණු,කතරගම,පත්තිනි කියන දේවාල පෙරහරට අමතරව ශ්‍රී සෙල්වවිනායගර් කෝවිලෙන්ද පෙරහරක් පවත්වා තිබෙන බව අපට සිහිපත් කළේ ක්‍රිෂ්ණමූර්ති ගෝවින්දසාමි මහතාමයි. පසුකාලීනව මේ පෙරහර නතර වෙලා තිබෙනවා. අන්තිම රන්දෝලි පෙරහර ගෙවැදුනාට පස්සේ සතර මහා දේවාල පෙරහර ගැටඹේ දිය කපනා තොටට ගමන් කරලා දිය කැපුම් මංගල්ලය සිදු කරනවා.දිය කැපීමෙන් පස්සේ ජලය පුරවන ලද කෙංඩි පසුදින දවල් පෙරහර ආරම්භ වන තෙක් තැන්පත් කර තියන්නේ පුල්ලියාර් කෝවිලේ. සතර මහා දේවාල වල බස්නායක නිළමේවරු කෝවිලට ඇවිත් පුදපූජා පවත්වලා දේව අභරණ වැඩෙම්ව්වාට පස්සේ තමයි දවල් පෙරහර කොවිලෙන් ගමන් ආරම්භ කරන්නේ.
මේ අපූරු චාරිත්‍රය පිළිබඳව ශ්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජයරත්න මහතා මෙසේ කරුණු හෙළි කළා…මහනුවර ඇසළ පෙරහරේ දේවාල පෙරහර දිය කැපීමේ මංගල්ලයෙන් පසුව පුල්ලියාර් කෝවිලට එනවා.එතනදී දේවියන්ට පූජා පවත්වලා දේවාල දවල් පෙරහර පටන් ගන්න චරිත්‍රය රජ කාලේ ඉඳන් එන එකක්.දළදා මාලගාවේ පෙරහර කෝවිලට ගමන් ගැනීමක් සිදු වන්නේ නැහැ. මේ නිසා කෝවිල හා දළදා මාලිගාව අතර පෙරහරේදී සම්බන්ධයක් ඇති වුණේ නැහැ. හිටපු දියවඩන නිළමෙ නිශ්ශංක විජයරත්න මහතා 1975 දී කෝවිලේ පාලක තුමා ඇතුළු පූජකවරුන්ට ආරධනා කළා අවසන් රන්දෝලි පෙරහර දවසේ දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත් ඉටු කරන්න කියලා.මහනුවර කියන්නේ සිංහල,දෙමළ හා මුස්ලිම් සියලු ජාතීන් එකට ජීවත් වන නගරයක් නිසා දියවඩන නිළමේතුමා කල්පනා කළා සියලු දෙනා පෙරහරේ කොටස් කරුවන් වෙන්න ඕන කියලා. මේ චාරිත්‍රය එදා වගේම අදත් නොකඩවා සිදු වෙනවා.
ජාතික හා ආගමික සංහිඳියාව
මහනුවර ඇසළ පෙරහර කියන්නේ සිංහල හා දෙමළ ජනතාව අතර පවතින බැඳීම තවත් වැඩි කරන පූජෝත්සවයක්.රජ කාලේ ඉඳලා පවතින ජාතික හා ආගමික සංහිඳියාවේ වැදගත්කම එදාට වඩා වැදගත් වන්නේ අදට. මොකද ජාතීන් විදිහට සිංහල හා දෙමළ ජනතාව අතර තිබෙන සංස්කෘතික බැදීම් අද ඉන්න ගොඩක් අය දන්නේ නැහැ.අපෙන් පස්සේ මේ චාරිත්‍ර තවත් හොඳට කෙරෙන්න ඕන.ඒක තමයි මගේ ප්‍රාර්ථනය.
මහනුවර කියන්නේ සිංහල හා දෙමළ පමණක් නොව මුස්ලිම් ජනතාවද එකට සාමයෙන් සමඟියෙන් ජීවත් වන නගරයක්.දැන් බලන්න කෝවිලට වැඩිපුරම එන්නේ බෞද්ධ ජනතාව.අපි යනවා දළදා මාලිගාවට. කිසිම ආගමික ශාස්තෘන් වහන්සේ නමක් තවත් ජාතියකට හෝ ආගමකට එරෙහි වන්න කියලා නැහැ.බුදුන් වහන්සේ වෛරය,ක්‍රෝධය,ඊර්ෂ්‍යාව පිටු දකිමින් කරුණාව,මෛත්‍රිය,දයාව වගේ උසස් ගතිගුණ වර්ධනය කර ගන්න මඟ පෙන්නුවා.මේ කාරනා හින්දු දහමෙත්,ඉස්ලාම් දහමෙත්,ක්‍රිසාතියානි දහමෙත් කියා තිබෙනවා.පෙරහර මංගල්ලයේ තිබෙන මේ ජාතික සමඟිය විදහා දැක්වෙන කාරනා තවත් ඉස්මතු වෙන්න ඕන.පෙරහරේ ලස්සන ඇස් වලින් දකින අයගේ හිත් ලස්සන වෙන්නේ මේ බැඳීම් එක්කයි… ක්‍රිෂ්ණමූර්ති එසේ පැවසුවේ අපිට අපූරු පාඩමක් කියා දෙමින්.
දළදා මාලිගාව හා සෙසු පූජනීය ස්ථාන අතර අතීතයේ සිට මනා සම්බන්ධතාවක් පැවතුණා.සිංහලයේ අවසන් රාජධානියවූ කන්ද උඩරට සිංහල රාජ වංශය ශ්‍රී වික්‍රම පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් අවසන් වුණා.ඉංග්‍රීසින් විසින් 1815 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව ඔවුන්ගේ ග්‍රහණයට ගන්නා තෙක් උඩරට පාලනය කළේ නායක්කාර වංශික රජවරු.මෙම රජවරු දළදා වහන්සේට මෙන්ම දේවාළ වලටද පූද පූජා කිරීම නිසා නිරන්තරයෙන් මෙම ආගමික ස්ථාන අතර මනා සබැඳියාවක් ගොඩ නැගුණා….