අන්තර්ජාලය ඔත්සේ දුම්රිය ටිකට් ජාවාරමක් – මහනුවර වාර්තාකරු

train tikat

කොළඹ සිට ඇල්ල බලා ධාවනය වන දුම්රියේ රුපියල් 1300 බැගින් වූ ටිකට් පත් දෙකක් රුපියල් 7300 කට ජර්මන් ජාතික යුවළකට අළෙවි කිරීමට ගිය පුද්ගලයෙකු මහනුවර දුම්රිය ස්ථානයේදී දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ටිකට්පත් ජාවාරම අන්තර්ජාලය ඔස්සේ සිදු කරන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.
මෙම ටිකට් පත් ඊයේ (14) දිනට වලංගු ඒවා බව වැටලීම සිදුකළ සහකාර ආරක්ෂක අධිකාරී (ගම්පොළ ඉහළ) කාර්යාලයේ ආරක්ෂක සැරයන් (91035) එච්.පී.පී ගුණවර්ධන මහතා කීය.

මෙම වංචාවට අසුවීමට ගිය ජර්මන් ජාතික පුද්ගලයා එරට පොලිස් නිලධාරියෙකු බව දුම්රිය ආරක්ෂක අංශය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දුම්රිය ටිකට් පත් වැඩි මිලට අළෙවි කිරීමේ ජාවාරමේ නිරත මහ මොළකරුගේ ගෝලයෙකු වන අතර ඔහු මහනුවර සුදුහුම්පොළ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සතුව තිබී ඇල්ල දක්වා ගමන් කරන දුම්රිය තවත් ප්‍රවේශ පත්‍රයක් සොයා ගත් බව දුම්රිය ආරක්ෂක අංශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබූ දුම්රිය ප්‍රවේශ පත්‍ර දෙක ලබා ගැනීමෙන් පසු ඒවාහි ඡායාපිටපත් ලබාගෙන අදාළ ආසන අංක වලට නියමිත මිලට ප්‍රවේශ පත්‍ර දෙකක් ජර්මන් ජාතික යුවළට නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
සැකකරු සතුව තිබූ ටිකට්පත් දෙකත් සමඟ ඔහු මහනුවර පොලීසියට බාරදීමට දුම්රිය ආරක්ෂක අංශය පියවර ගෙන ඇත.

දුම්රිය ආරක්ෂක අධිකාරී කේ.ජී.ඒ ප්‍රේමරත්න,සහකාර ආරක්ෂක අධිකාරී එම්.ජී සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත දුම්රිය ආරක්ෂක සැරයන් 91035 එච්.පී.පී ගුණවර්ධන,මහනුවර දුම්රිය ආරක්ෂක කාර්යාලයේ කාර්යාභාර නිලධාරිවරයාගේ සහ සෙසු නිලධාරීන්ගේ සහය ඇතිව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *