යුවාන් වෑන් නෞකාව හා ශ්‍රී ලංකාවේ රාජ්‍ය උපාය මාර්ග වල දිළිඳු බව. බර්නාඩ් එදිරිසිංහ

 

මේ සතියේ සිය අධි තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ සංඛ්‍යාත බුද්ධි තොරතුරු (Signal Intelligence- SIGINT)  රැස් කරන  යුවාන් වෑන් 5 නෞකාව 99 අවුරුද්දු බද්දකට චිනයට බදු දි ඇති හම්බන්තොට-චින වරායට පැමිණිමට නියමිතය. යුවාන් වෑන් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණිමේ සැලැස්මත් සමගම ශ්‍රී ලංකාව භූ-දේශපාලනය තුළ ගිරයට හසු වු පුවක් ගෙඩියක තත්ත්වයට පත් වි තිබෙන බව පෙනි යයි. ලෝක බලවතුන් දෙපාර්ශවයකට මැදි වි සිටින, මුල්‍ය වශයෙන් බංකොලොත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය මේ සිද්ධිය සම්බන්ධයෙන්   ක්‍රියා කරන ආකාරය අප රට රාජ්‍ය උපාය මාර්ගයන් හි  කොපමණ කඩා වැටීමක් සිදු වි ඇතැදැයි පෙන්වන කදිම නිදර්ශනයක් වෙයි.

සංඛ්‍යාත ඔස්සේ විවිධාකාරයෙන් හුවමාරු කර ගනු ලබන තොරතුරු එකතු කිරීම  සංඛ්‍යාත බුද්ධි තොරතුරු රැස් කිරීම වශයෙන් හඳුන්වනු ලැබේ. සංඛ්‍යාත බුද්ධි තොරතුරු එකතු කිරීම ගොඩ බිම ඉදි කරන ලද වේදිකා, නෞකා මත ඉදිරි කරන ලද වේදිකා, සබ්මැරින් වේදිකා, ගුවන් යානා වේදිකා හා චන්ද්‍රිකා වේදිකා වශයෙන් විවිධ ආකෘති වලින් ද දක්නට පුළුවන. විද්‍යුත් සංඛ්‍යාත මහජන දේපලක් වශයෙන් සලකනු ලබන අතර එක් රටකට අයත් තොරතුරු තවත් රටක් විසින් නොනිල වශයෙන් ලබා ගැනීම වරදක් වශයෙන් සලකනු ලබයි. නමුත් මේ වන විට ජාත්‍යන්තර මුහුදේ ස්ථාන ගත කරන නෞකා ඔස්සේ මහජන අවකාශය තුළ හුවමාරු වන ඒ ඒ රටවල ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු තෙවන පාර්ශයක් විසින් රැස් කිරීම රාජ්‍යයන් 12 ( චිනය, ඩෙන්මාර්ක්, ප්‍රංශය,ජර්මනිය, ඉන්දියාව, නවසිලන්තය,නොර්වේ, පෝලන්තය, රුසියාව, ස්පාඤය, ස්විඩනය හා ඇමරිකාව) විසින් කරනු ලබන බව වාර්තා වේ. විසි එක් වන සියවසේ සිය ජාතික හා ජාත්‍යන්තර ආරක්ෂක ඉලක්කයන් සපුරා ගැනීම පිණිස ලෝකයේ විවිධ රටවල් සංඛ්‍යාත බුද්ධි තොරතුරු රැස් කරනු ලබන අතර එම ක්ෂ්‍රේත්‍රය කළමනාකරණය කරනු ලබන්නේ ඒ ඒ රටවල් අතර ඇති කර ගන්නා මිත්‍රශිලි ගිවිසුම් මගිනි.

සිය මාතෘ භුමියට කරන සේවය වෙනුවෙන් චින රාජ්‍ය සම්මාන ලබා ඇති යුවාන් වෑන් නෞකා බල ඇණියෙහි අංක 5 ඔත්තු නෞකාව ‍ඉන්දීය සාගරය තුළ ජාත්‍යන්තර මුහුදේ ස්ථානගත කරන අතර අනෙක් යුවාන් වෑන් නැව් දකුණු පැසිෆික්, දකුණු අත්ලාන්තික් සාගර වලත් ස්ථාන ගත කරනු ලැබ ඇත. 2008 දක්වා වු පළමු වසර 30 තුළ පමණක් යුවාන් වෑන් නාවික බල ඇණිය සාගර ගවේෂණ 50කට වඩා සම්පුර්ණ කර ඇති අතර නාවික සැතපුම් මිලියන 1.4 කට වඩා යාත්‍රා කොට ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව විශ්ව ගම්මානයක, අනෙකුත් රාජ්‍යයන් හා විවිධාකාරයෙන් බැඳුණ එක් කුඩා ඒකකයක් බව පිළිගත යුතුය. ශ්‍රී ලංකාවේ දේශගුණය, විවිධ සංස්කෘතීන් හා සවභාවික සෞන්දර්ය නිසා ජාත්‍යන්තර අවධානය අප වෙත ඇදි ආවත් වඩාත්ම ආකර්ෂණය වන්නේ භූ-දේශපාලන වශයෙන් ගත් කළ ඉන්දීය සාගරයේ නාවික කොරිඩෝවක් අභියස  අප පිහිටා සිටින ස්ථානය නිසා යැයි කිව හැක. ජාත්‍යන්තර භූ- දේශපාලනය තුළ ඇමරිකාව ප්‍රමුඛ එක් ලොක රටාවකුත් චිනය කේන්ද්‍ර කොට ගෙන තවත් ලෝක රටාවකුත් වර්ධනය වන පසුබිමක ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ඉතාමත් විචක්ෂණ රාජ්‍ය උපාය මාර්ග ඔස්සේ  මෙහෙයවීම විදේශ අමාත්‍යවරයා ප්‍රමුඛ විදේශ අමාත්‍යංශයෙන් කාර්යභාරය වෙයි. යුවාන් වෑන් 5 නෞකාව සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය සිය කාර්යභාරය පැහැර හැරිය ආකාර කිහිපයක් නිරික්ෂණය කළ හැකියි.

ඉන්දියාවට රාජතාන්ත්‍රික වශයෙන් විශේෂත්වයක් දක්වන බවට ශ්‍රී ලංකාවේ පැතිකඩ නිර්මාණය කිරීම විසි එක්වන සියවසේ රාජතාන්ත්‍රික සම්බන්ධතා මතු පිටින් කියවීමක් ලෙස හැඳින්විය හැකියි. චිනය ශ්‍රී ලංකාව විසින් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දි මෙරටට විශේෂත්වයක් නොකිරීමට ගත් තීරණයත් සමඟ ඇති වු හිඩැසින් රිංගා ඉන්දියාව සිය මානුෂික ආධාර භූ-දේශපාලන මෙවලමක් වශයෙන් භාවිතා කරන බව නිරික්ෂණය කළ හැකියි. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවට ඉන්දියාව ඉදිරියේ දණ ගැසීමට සිදු වුයේ ධුරයෙන් පහ වීමට නියමිත ව සිටි ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් බලයේ රැඳි සිටිමේ උපායක් වශයෙන් ජනතාව ගේ ප්‍රසාදය දිනා ගැනීම පිණිස ඉන්දියාවෙන් ආහාර හා ඉන්ධන ලබා ගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදි වටිනාකම් පිළිබඳ කිසියම් ගරුත්වයක් තිබුණා නම් සිය බලය රැක ගැනීම පිණිස ඉන්දියාව බර නොවිම ඉල්ලා අස්වීමට  ඉඩ තිබින. නමුත් ඒ  සියල්ල සිදු වි හමාරය.  නමුත් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය තවමත් සිය රාජ්‍ය උපාය මාර්ග සමබර කර ගැනීමට උත්සාහ නොකිරීම බරපතල ලෙස සිය වගකීම පැහැර හැරීමක් ලෙස සැලකිය හැකියි.

අනෙක් අතට චිනයේ සහයෝගය ශ්‍රී ලංකාව දෙයාකාරයකින් අවශ්‍ය වේ. එක් අතකින් සිය විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම පිණිස කඩිනමින් ක්‍රියා කරන ලෙස චිනය දිරි ගැන්වීමට ශ්‍රී ලංකාවට සිදු වි තිබේ. චිනය සැම්බියාවට ලබා දි තිබු විදේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවුරුදු දෙකක කාලයක් ගත් බව මෑතකදි වාර්තා විය. නමුත්  මහා බැංකු අධිපතිවරයාම වරක් ප්‍රකාශ කළ පරිදි චිනය ශ්‍රී ලංකාව මිත්‍රශිලි රටක් ලෙස සලකා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කළ යුතු වේ. එවැනි ක්‍රියාවලියකට චිනය පොලඹවා ගැනීමට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය කටයුතු කරන ආකාරය අභියෝගයක් විය හැකියි. අනෙක් අතට එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ ශ්‍රී ලංකාව එරෙහිව බටහිර රටවල් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා ඉදිරියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනි සිටින ප්‍රබල රාජ්‍යයක් වශයෙන් චිනය යම් භූමිකාවක් ඉටු කරයි. වත්මන් ආණ්ඩුව විසින් සිදු කරනු ලබන මානව හිමිකම් උල්ලංඝණයන් ගේ පරිමාව දෙස බලන විට අනාගතයේ දි චින සහයෝගය ලැබිය යුතු අවස්ථාවක එය නොලැබි යාමට ඉඩ තිබේ.

සංඛ්‍යාත බුද්ධි තොරතුරු රැස් කිරීම ජාත්‍යන්තර භූ-දේශපාලනය තුළ සුලභ දසුනකි. එය අහසෙත්, මහ පොළවේත්, සාගරය මතත් සාගරය තුළත් සිදු වෙයි. ගෝලීයකරණයට ලක් වු විශ්ව ගම්මානයක ජාත්‍යන්තර සම්බන්ධතා කළමනාකරණය සඳහා දක්ෂ නිලධාරින් ගෙන් සමන්විත රාජ්‍ය සේවයක් අවශ්‍ය වේ. ආණ්ඩුව අතහැර පළා ගිය ගෝඨාභය රාජපක්ෂ ගේ ආණ්ඩු සමයේ දක්නට ලැබුන සුලබ දසුනක් වුයේ ආණ්ඩුව විසින් ගනු ලබන තිරණ රිවස් කිරීමයි. යුවාන් වෑන් සිදුවීම සම්බන්ධයෙන් ද එවැනි රිවස් කිරීමක් අපේක්ෂා කළ හැකි වෙයි. එයින් ප්‍රකාශ වන්නේ තවමත් ජන අරගලය විසින් ඉල්ලා සිටින සිස්ටම් චෙන්ජ් එක පිළිබඳ පණිවුඩය  විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය වෙත ළඟා වි නැති බවයි.

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *