සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය , දයාසිරි ජයසේකර කියයි – නිමල් කොළඹිස්ස – මහනුවර

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය හිමිවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
නමුත් එහි කැබිනට් මණ්ඩලය සුළු පිරිසකගෙන් සමන්විත වීම සහ ඔවුන් දූෂණ වංචාවලින් තොර පිරිසක් බවට පත්වීම අත්‍යවශ්‍ය යැයි ප්‍රධාන ලේකම්වරයා කීවේය.
(13) පෙරවරුවේ මහනුවරට පැමිණි මහ ලේකම්වරයා ශ්‍රී දළදා මාලිගාවේදී දන්තධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මේ බව සඳහන් කළේය.
රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට නම් දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය බවත් ඒ සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවකට සිය පක්ෂයේ සහයෝගය ලබා දෙන නමුත් අමාත්‍යධූර ඉල්ලා සිටීමක් මේ දක්වාම කර නොමැති බව ඒ මහතා කීවේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇමතිධූර ලබා දීම සිදුකරනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවත් මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.
වසර ගණනාවක් අලාභ ලබන රජයේ ආයතනවල පාඩුව මහජනයා මත පැටවීම වෙනුවට අලාභ අවම කිරීමට රජය සැලසුම් සකස් කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය, ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ආදිය අලාභ ලබන තත්ත්වයක් මත වසර තුනකට වරක් සේවක වැටුප් ඉහළ නැංවීම නිසා රටේ පොදු ජනතාවට එම බර දැරීමට සිදුව ඇතැයි ඒමහතා කීවේය. නමුත් එම ආයතන ක්‍රමවත් පරිපාලනයකට යටත් කළ යුතුව ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.
ජාතික සභාව ස්ථාපිත කොට සියලු පක්ෂ නායකයන්ගෙන් සමන්විත ආර්ථික වැඩපිළිවෙලක් සකස් කිරීම මෙරට ආර්ථීක අභිවෘද්ධියට වැදගත් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.