යෙදවුම් අවභාවිතා කිරීමෙන් වළකින්නැයි කෘෂිකර්ම උපදේශක සංගමය කියයි. නිමල් කොළඹිස්ස – මහනුවර

ඉදිරි මහ කන්නය සාර්ථක කර ගැනීම සඳහා කෘෂිකාර්මික යෙදවුම් අවභාවිතා කිරීමෙන් වළකින්නැයි මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශක සංගමය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිති.
සංඛ්‍යා ලේඛණ අනුව මෙවර යල කන්නයේ සියයට හතළිහක පමණ අස්වනු අහිමිවීමක් අපේක්ෂා කළ හැකි නමුත් ඉදිරි මහ කන්නයේදී එසේ නොවිය යුතු යැයි එම සංගමයේ සභාපති පියල් කුමාරගේ මහතා ප්‍රකාශ කළේය.
2022/23 ඉදිරි මහ කන්නය සාර්ථක කර ගැනීම හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට එල්ලවන අභියෝග සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම නිමිත්තෙන් අද මහනුවර දී පැවැති හමුවකදී සභාපතිවරයා මේ බව කීවේය.
යල කන්නය ආරම්භ වී මාසයක් ඉක්මවා ගිය පසු යූරියා පොහොර හිමිවූ නමුත් එම පොහොර මෙම අවස්ථාවේදී යෙදීම ඵලදායි නොවන බවත් හැකි නම් එම පොහොර ඉදිරි මහ කන්නය සඳහා සුරක්ෂීත කර ගැනීම සාර්ථක වනු ඇතැයි ද කීවේය.
සක්‍රීයවූ නිරත දිග මෝසම නිසා වැසි ලැබී ජලාශ පිරි ඇති තත්ත්වයක් යටතේ මහ කන්නයට ජලය සපයා ගැනීම කිසිදු අභියෝගයක් නොවන බව පෙන්වාදුන් සභාපතිවරයා, කිසිදු බියකින් තොරව ඉදිරි මහ කන්නය සඳහා ගොවියන්ට සූදානම්වීමේ හැකියාව පවතින බව පෙන්වා දුන්නේය.
එමෙන්ම ගොවියන් සතු බිත්තර වී හා අනිකුත් බීජ වර්ග ව්‍යාපාරික ප්‍රජාවට අලෙවි කිරීම වෙනුවට අතිරික්ක බීජ ඉදිරි කන්නය සඳහා තමන් සතුව තබා ගැනීම වඩාත් සුරක්ෂීත තීරණයක් වනු ඇතැයි කීවේය. ඩොලර් සංචිත හිඟතාවය හමුවේ බීජ ආනයනය ගැටලුවක් වුවහොත් ගොවියන් සතු බීජ වඩා ආරක්ෂිත බීජ යෙදවුම් වශයෙන් යොදා ගත හැකි යැයි මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශක සංගමයේ සභාපති පියල් කුමාරගේ මහතා පැවසීය.
සමස්ථ ලංකා කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමයේ සභාපති ඒ.එම්.උදයසිරි මහතා, සහ මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශක සංගමයේ ලේකම් සිරිල් අබේවික්‍රම මහතා ද මෙහිදී අදහස් දැක්වීය.