සැම්බියාවට  ආර්ථික අගාධයෙන් ගොඩ එන්න චීනය  කළ උදව්ව – බර්නාඩ් එදිරිසිංහ ලියයි

ශ්‍රී ලංකාවට  පාඩම් තුනක්

සැම්බියාවට ලබා දි තිබෙන ඇමරිකන් ඩොලර් බිලියන 15 ක  විදේශිය ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමට මහජන චිනය මෑතක දි කැමැත්ත ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවටත් ප්‍රවෘත්තියක් විය.

එම ප්‍රකාශය ශ්‍රී ලංකාවටත් ප්‍රවෘත්තියක් වුයේ මහජන චිනය විසින් ශ්‍රී ලංකාවට ලබා දි ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ විය යුතු බවට ඉන්දියාව, ඇමරිකාව මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පවා අවධාරණය කරන පසුබිමකය. ඉන්දියාව මහජන චිනය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සිය ප්‍රථම සංඥාව නිකුත් කළේ හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි ප්‍රමුඛ නියෝජිත පිරිස පළමු වතාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගිය අවස්ථාවේ දිය.  එම සාකච්ඡාවලට සහභාගි වු ඉන්දීය මුදල් අමාත්‍යවරිය ‘මහජන චිනය විසින්  ශ්‍රී ලංකාවට ලබා දි ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ආධාර ලබා ගැනීමට අනිවාර්ය කොන්දේසියක් බව’ මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමට පසුබට නොවුවාය. ඊට පසුව ශ්‍රී ලංකාවට ලබා දි ඇති මහජන චින ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බල කිරීමට ඇමරිකානු රාජ්‍ය බලධාරීන් මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද එක් විය.

හේතු කිහිපයක් නිසා මහජන චිනය වෙත එවැනි බලපෑමක් එල්ල කිරීමට බටහිර රටවලට සිදු වන බව අනුමාන කළ හැකිය. ප්‍රධානම හේතුව මහජන චිනය අධික පොලියකට නමුත් ඉතාම ලිහිල් කොන්දේසි යටතේ විදේශිය ණය යම් රටකට ලබා දුන්නත් ණය ආපසු අය කර ගැනීමේ දි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. මහජන චිනය සිය විදේශිය ණය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය ඔවුන් සැම්බියාව සම්බන්ධයෙන් අනුගමන කළ පිළිවෙත පරික්ෂා කිරීමෙන් තේරුම් ගත හැකිය.

සැම්බියාවේ විදේශිය ණය කොපමණ ද?

සැම්බියාවේ විදේශිය මුළු ණය ප්‍රමාණය කොපමණද?

එරට විදේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දි ක්‍රියාවලිය ආරම්භයේ දීම ඇති වු ගැටලුව වුයේ සැම්බියාවේ මුළු විදේශීය ණය ප්‍රමාණය කොපමණ ද යන්නයි. මහජන චිනය විසින් ලබා දි ඇති සමස්ත ණය ප්‍රමාණය අනාවරණය කිරීම තිරණාත්මක වුයේ එම තොරතුරු ලැබෙන තෙක් අනෙකුත් ණය හිමි රටවල් සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ තීරණ ගැනීම කල් දැමු බැවිනි. ඊට හේතු වුයේ එම රටවල් විසින් සැම්බියාවට යම්කිසි සහනයක් ලබා දුනහොත් එම සහනය මගින් මහජන චිනයෙන් ලබා ගත් හෙළිදරව් නොකළ ණය ගෙවිමට පාවිච්චි කළ හැකිය යන සැකය අනෙක් ණය හිමි රටවල් අතර තිබිමයි.

මෙම සැක සංකා දුරු කිරීම පිණිස ජි-20 කණ්ඩායමේ රටවල් විසින් ප්‍රංශය සහ මහජන චිනය සම සභාපතිත්වය දරන ‘සැම්බියා විදේශිය ණය හිමියන් ගේ කමිටුවක්’ 2021 පෙබරවාරි මස පිහිටවනු ලැබිණ. ආරම්භයේ දි මහජන චිනය මෙවැනි වැඩ පිළිවෙළකට එකඟ නොවනු ඇතැයි අනෙකුත් පාර්ශවකරුවන් අතර සංකාවක් පැතිර පැවති නමුත් පසුව මහජන චිනය ක්‍රියාකාරි ලෙස මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ කමිටුවට සහභාගි විම අනෙකුත් අප්‍රිකානු රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් ලෙස සලකන ලදි.

මේ සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදු කළ ‘ මහජන චින සැම්බියා අධ්‍යයන ව්‍යාපෘතිය’ 2000 වර්ෂයේ සිට මහජන චිනයේ මහ සහ කුඩා පරිමාණ ආයතන 18කට ආසන්න සංඛ්‍යාවක් විසින් සැම්බියා රජයට සෘජුවමත්  හා රාජ්‍ය ආයතන වලට වක්‍රවත් ඇමරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න ප්‍රමාණයක ණය ලබා දි ඇති බවයි.

අවුරුදු දෙකකට වැඩි කාලයක්-

සැම්බියාවට මහජන චිනය විසින් ලබා දි ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සිය අනුමැතිය දිමට වසර දෙකකට ආසන්න කාලයක් ගත විය. ඇත්ත වශයෙන් ම එරට ණය අර්බුදය ප්‍රථම වරට ප්‍රකාශයට පත් වුයේ 2014 වසරේදීය. නමුත් එවකට සිටි ජනාධිපති මයිකල් ජුලිෆයි සාටා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන ලදි. නමුත් ජාත්‍යන්තර මැදිහත් විම් මැද සැම්බියාව ජාත්‍යන්තර අරමුදල වෙත ළඟා වුයේ 2020 දීය. මහජන චිනය විසින් සැම්බියාවට ලබා දි ඇති ණය ප්‍රමාණය කොපමණ ද එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මහජන චිනය විසින් අනුමත කරන වැඩ පිළිවෙළ කුමක් ද යන්න නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අවුරුදු දෙකක කාලයක් ගත විය.

මෙයින් ශ්‍රී  ලංකික පුරවැසියන්ට ලැබෙන පණිවුඩය වන්නේ ශ්‍රී ලංකාවට මහජන චිනය විසින් ලබා දි තිබෙන ණය ප්‍රමාණය විගණනය කිරීම හා ප්‍රතිව්‍යුහගත කිරීම එක් රැයකින් දෙකකින් සිදුවන දෙයක් නොව යම්කිසි කාලයක් ගත විය හැකි රාජතාන්ත්‍රික ක්‍රියාවලියක් බවයි. මේ සම්බන්ධයෙන් මෑතකදි අදහස් දැක්වු මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ කියා සිටියේ ‘ මහජන චින ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දිර්ඝ කාලයක් ගත විය හැකි නමුත් සැම්බියාවේ අත්දැකිම හා ශ්‍රී ලංකාව සමග තිබෙන රාජතාන්ත්‍රික සම්බන්ධතා නිසා ඉක්මනින් එම කටයුත්ත කිරීමට ඉඩ ඇති’ බවයි. නමුත් වැදගත් පාඩම වන්නේ මහජන චිනය සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන තුරු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය ගිවිසුම් අවසාන වශයෙන් අත්සන් නොකරන බවයි.

 

ජනවරමක් සහිත රාජ්‍ය නායකයෙක් අවශ්‍යයයි-

මහජන චිනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සමාන්තරව සැම්බියාවේ සිදු වු වැදගත් සිදුවීම් කිහිපයක් විය. ඉන් පළමුවැන්න වුයේ 2021 ජනාධිපතිවරණයෙන් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමයි. සැම්බියා ආර්ථික අර්බුදය විසඳීම පිණිස ජනපති හකයින්දේ හිචිලෙමා විසින් පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කළ අතර ඊට මහජන සහයෝගය ලැබුණේ ඔහු විසින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දි ඒ බව සඳහන් කොට ජනවරමක් ඉල්ලා සිටි බැවිනි. සැම්බියාවේ මුල්‍ය ගැටලු හා දුර්වල මුල්‍ය අධික්ෂණය පිළිබඳ අභියෝග වලට මුහුණ දීම පිණිස නව ජනපති  හකයින්දේ හිචිලෙමා ජනපති පියවර කිහිපයක් ගත්තේය. ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටවනු ලැබු අතර එමගින් අතීතයේ ගනු ලැබු ණය හා වර්තමාන ණය ගැනීම් විගණනය කිරීම ආරම්භ කෙරිණ. පාර්ලිමේන්තු පනතක් මගින් ලබා ගත හැකි විදේශිය ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයෙන් 65% සිමාවක් පනවනු ලැබිම තවත් එක් වැදගත් පියවරක් විය.

ශ්‍රී ලංකාවටත් සිය විදේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යම් කාලයක් ගත වන අතර එම කාලය තුළ කඩා වැටුණ ශ්‍රී ලංකාවට යට වි සිටින ලක්ෂ 63 කට ආසන්න ජනතාවකට හුස්ම ගැනීමට යම් ඉඩක් සැලසිය හැක්කේ ජනවරමක් සහිත ආණ්ඩුවකට බව සැම්බියා නිදර්ශනයෙන් ද පෙනි යයි.

ඩොලර් හිඟය, රුපියල් හිඟය, උද්ධමනය හා දේශපාලන අස්ථාවරභාවය එකිනෙක ගැටෙන ආකාරයත් ඉන් රටවල් ගොඩ එන ආකාරයටත් කදිම නිදර්ශනයක් ලෙස සැම්බියාව සලකනු ලැබේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *