මහනුවර ජාතික රෝහලට ඖෂධ තොගයක් – මහනුවර වාර්තාකරු

මහනුවර ජාතික රෝහලේ ශල්‍ය අංශයේ ප්‍රතිකාර සේවා සඳහා අත්‍යවශ්‍යව තිබූ රුපියල් ලක්ෂ 21 ක වටිනාකමින් යුත් ඖෂධ තොගයක් රෝහලට පරිත්‍යාග කිරීම සහ ආර්ථික අර්බුදය හේතුවෙන් අසරණව සිටින පවුල් 500 ක් සඳහා රුපියල් ලක්ෂ 50 ක වටිනාකමින් වියළි ආහාර ද්‍රව්‍යය බෙදාදීම මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහියින්ගේ ප්‍රධානත්වයෙන්  මල්වතු විහාරීය අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමි අනුස්මරණ ශාලාවේදී සිදු කෙරුණි.

මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික දොරණෑගම රතනපාල නාහිමියන්ගේ මැදිහත්වීම මත චීනයේ නින්ධ නුවර අන්ෆු විහාරයේ අධිපතිනිය දාහොන් භික්ෂුණිය හා එම ප්‍රදේශයේ බෞද්ධයින්ද චීනයේ කිංදාඕ චිමං ප්‍රජාසත්කාරක පදනම, විබෝධි ඉද්දවෙල මහත්මිය ඇතුළු දානපතීන් පිරිසක් මෙම සත්කාර්යය සඳහා මුදල් පරිත්‍යාග කර තිබේ.

පවතින ආර්ථික අරබුදය හේතුවෙන් දැඩි ලෙස පීඩා විඳින ජනතාව වෙනුවෙන් යම් සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරමින් ඒ පිළිබඳව මල්වතු මහනාහිමියන් දැනුම්වත් කළ අවස්ථාවේ උනහන්සේ මහනුවර ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශයේ ඖෂධ හිඟයක් පවතින බැවින් ඒ සඳහාද යම් උපකාරයක් කළ යුතුව තිබෙන බව පෙන්වා දුන් බව මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික දොරණෑගම රතනපාල නාහිමියෝ පැවසූහ.

මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික හිමිවරුන් වන තිබ්බටුවාවේ මේධංකර,මහවෙල ශ්‍රී රතනපාල, උඩගල්දෙබොක්කේ ගුණාන්නද අඹතලාවේ සරණංකර,අලුත්ම සෝමරතන,කලුගල පේමරතන,පනසල් ගොඩැල්ලේ විමලරතන,වැලිවිට සරණංකර,නුගගොල්ලේ හේමාලෝක යන හිමිවරු සහභාගි වූහ.

මහනුවර ජාතික රෝහලින් වාර්ෂිකව ලක්ෂ තුනක පමණ පිරිසක් නේවාසිකවද මිලියන තුනක පමණ පිරිසක් සායන මගින්ද ප්‍රතිකාර ලබා ගන්නා බවත් සීමා සහිතව ඇති සැතකම් සඳහා අවශ්‍යය ඖෂධ ලබාදීම රෝගි ජීවිත ගණනාවකගේ ජීවිත බේරා ගැනීමට හේතු වනු ඇති බවත් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය කීවාය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *