මහනුවර Q R ගැහිල්ල – මහනුවර වාර්තාකරු

ඉන්ධන නිකුත් කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශය මගින් හඳුන්වාදුන් QR ඛේතය සඳහා ලියාපදිංචි කර භාගත කරදීම සඳහා මහනුවර ඇතැම් පරිගණක හා දුරකතන සේවා සපයන ආයතන මගින් රුපියල් දහසේ සිට තුන් දහස දක්වා මුදල් අය කරන බව වාහන හිමියෝ පවසති.
ඛේතය සඳහා ලියාපදිංචි වීමට නොදන්නා හා ස්මාර්ට් ජංගම දුරකතනයක් නොමැති අය මෙම දිනවල අදාළ සේවය ලබා ගැනීමට පරිගණක හා දුරකතන සේවා සපයන ස්ථාන වෙත බහුලව යොමුවන තත්ත්වයක් දක්නට ලැබේ. මෙම ඛේතය සඳහා ලියාපදිංචි කර භාගත කර දෙන බවට දැන්වීම් පවා ප්‍රදර්ශනය කරමින් ඇතැම් පිරිස් මෙම මුදල් ගැරීමේ ජාවාරමේ නිරතව සිටිති.
අධික ලෙස මුදල් ලබා ගනිමින් මෙම ඛේතය සඳහා ලියාපදිංචි කරවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පෙනීගිය බැවින් ජාතික තරුණ සේවා සභාව යෞවන සමාජ මට්ටමින් තරුණ තරුණියන්ට තාක්ෂණික දැනුම ලබාදී ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීම සඳහා උපකාර කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කරන බව ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ සුචින්න දිසානායක මහතා කීය.
බලශක්ති අමාත්‍යාංශය මගින් හඳුන්වා දුන් වැඩපිළිවෙළ යටතේ QR ඛේතය ලබාගත් පුද්ගලයින් සඳහා වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කමට අනුව ඉන්ධන නිකුත් කිරීමේ නියමු වැඩසටහන පෙරේදා (24) මහනුවර යටියාවල සමන්ත ඉන්ධන පිරවුම් හළේදී ආරම්භ වූයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙනි.මෙම අවස්ථාවට ඉන්ධන පිරවුම් හළේ හිමිකරු එස්.ඒ සමන්ත,ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලක ආනන්ද සනත් කුමාර යන මහත්වරුද සහභාගි වූහ.
වාහන අංක තහඩුවේ අවසන් අංකයට අනුව ඉන්ධන ලබා ගැනීමට පෙළ ගැසී සිටි ජනතාව අතර ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීම සඳහා ලියාපදිංචි නොවූ විශාල පිරිසකට තරුණ සේවා සභාවේ යෞවන සමාජ නියෝජනය කරන තරුණ තරුණියින් අදාළ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා සහය වූහ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *