මහනුවර ගෝඨා ගෝ ගම ඉවත් කර ගනී – මහනුවර වාර්තාකරු

මහනුවර ඇසළ පෙරහර ආරම්භ වීමට නියමිත බැවින් මහනුවර ගෝඨා ගෝ ගම ඉවත් කර ගන්නා ලෙස පොලීසිය කළ දැනුම් දීමට අනුව එහි සිටි පිරිස පෙරේදා (23) පෙරවරුවේ ස්වේච්ඡාවෙන්ම අට්ටාල සියල්ල ගලවා එම ස්ථානයෙන් ඉවත් විය.
දින 100 කට ආසන්න කාලයක් මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය අසළ අනුරුද්ධ රත්වත්තේ පිළිරුව අසළ මහනුවර ගෝඨා ගෝ ගම ක්‍රියාත්මක විය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයෙන් ඉවත්වූ පසු පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමඟ තාවකාලිකව අදාළ ස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර සිටි බවත් එම අවස්ථාවේ මහනුවර ඇසළ පෙරහර පැවැත්වීමට නියමිත බව පොලීසිය දැනුම් දුන් බවත් මහනුවර ගෝඨා ගෝ ගම ක්‍රියාකාරිකයෙකු වූ දිමුතු අබේකෝන් මහතා කීය.
ඒ අනුව සියලු දෙනා සාකච්ඡා කිරීමෙන් පසු 23 දින අදාළ ස්ථානයෙන් ඉවත් වූ බවත් ජනතා විරෝධී පාලනයක් ගෙන යන ඕනෑම අවස්ථාවක යළි ජනතාව පෙරට පැමිණෙන බව පාලකයින් තේරුම්ගත යුතු බවත් ඒ මහතා පැවසුවේය.
ඡායාරූප-මහනුවර ගෝඨා ගෝ ගම ඉවත් කර ගැනීමෙන් පසු එහි සිටි පිරිස් ප්‍රදර්ශනය කළ දැන්වීම.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *