මහනුවර රෝහල මහනුවර නගර සභාවට කෝටි අටක් ණයයි – මහනුවර වාර්තාකරු

ජල හා අපජල සේවා පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් මහනුවර ජාතික රෝහල මගින් මහනුවර නගර සභාවට රුපියල් කෝටි අටකට ආසන්න මුදලක් ගෙවීමට තිබෙන බව නගර සභාවේ විගණන කමිටු රැස්වීමේදී අනාවරණය වී තිබේ.

මෙම රැස්වීමට නගරාධිපති කේසර සේනානායක,නියෝජ්‍ය නගරාධිපති ඉලාහි ආබ්දීන්,විපක්ෂ නායක සේන දිසානායක,නගර සභාවේ කමිටු සභාපතිත්වය දරන මන්ත්‍රීවරු,ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

සාමාන්‍යයෙන් මාසයකට මහනුවර ජාතික රෝහලේ ජල හා අපජල බිල්පත රුපියල් කෝටිය ඉක්මවන බව මහනුවර නියෝජ්‍ය නගරාධිපති ඉලාහි ආබ්දීන් මහතා පැවසීය.

මහනුවර ජාතික රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමට පළාත් හයක පමණ ජනතාව දෛනිකව පැමිණෙන බවත් එම ජනතාව සඳහා සේවා සැපයීම අඩාල කිරීමට කිසිසේත් හැකියාවක් නොමැති බවත් කී නියෝජ්‍ය නගරාධිපතිවරයා අදාළ හිඟ මුදල් කඩිනමින් ගෙවීමට පියවර ගන්නා ලෙස දන්වා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කිරීමට තීරණය කළ බවද ප්‍රකාශ කළේය.

නගර සභාවෙන් ජල හා අපජන සේවා පහසුකම් ලබා ගැනීමට අදාළව රෝහල මගින් ගෙවීමට ඇති මුදලින් මිලියන 10 ක පමණ මුදලක් ගෙවීමට පියවර ගත් බවත් ප්‍රතිපාදන ලැබෙන ආකාරය අනුව ඉතිරි මුදල්ද ගෙවීමට පියවර ගන්නා බවත් මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය කීවාය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *