Skip to content
මෙම දිනවල පවතින ඉන්ධන හිඟයත් සමඟ බස් ගමනා ගමනය සීමාවීම හේතුවෙන් ඇතැම් පෞද්ගලික බස් රථ හිතූ හිතූ මිල ගණන් අය කරන බවට මගිහූ චෝදනා කරති.
පෞද්ගලික බස් රථයකින් පසුගිය 11 දින ගම්පොළ සහ නාවලපිටිය අතර ගමන් ගත් මගියෙකු පැවසුවේ තමන් ගම්පොළ සිට නාවලපිටියට පැමිණීමේදී රුපියල් 124 ක් ද යළි නාවලපිටියේ සිට ගම්පොළට පැමිණිමේදී රුපියල් 133 ක්ද බස් රථ මගින් අය කළ බවයි.
එකම දුරක් සඳහා බස් රථ දෙකකින් මිල ගණන් දෙකක් අය කිරීම ප්‍රශ්න සහගත බවත් මේ සම්බන්ධව නාවලපිටියේ සිට ගම්පොළ දක්වා පැමිණි බස් රථයේ කොන්දොස්තර වරයාගෙන් විමසූ අවස්ථාවේ ගාස්තුව ගෙවීමට නොහැකි නම් බස් රථයෙන් බැස යන ලෙස ඔහු පැවසූ බවත් එම මගියා පැවසුවේය.
බස් රථ වල ගමන් ගැනීමට විශාල පිරිසක් සිටීම නිසා ඇතැම් කොන්දොස්තරවරු හිතාමතාම ඉතිරි මුදල් ලබා නොදෙන බවටද මගීහූ චෝදනා කරති.
මේ අතර ඇතැම් බස් හිමියෝ තම බස් රථ ඉන්ධන පෝලිම් වල නවතා තබා ඉන්ධන ලබාගත් පසු බස් රථය ධාවනය නොකර ඉන්ධන විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බවත් මේවන විට ඩීසල් ලීටරය රුපියල් 1500 ක මුදලකට මහනුවර ඇතැම් ස්ථාන වල අළෙවි කෙරෙන බවත් දැන ගන්නට තිබේ.
ඡායාරූප-ගම්පොළ සහ නාවලපිටිය අතර එකම දුරක් සඳහා එකම දිනයේ බස් රථ දෙකකින් මිල ගණන් දෙකක් අයකර තිබූ අයුරු.