ගෝඨා-රනිල් ආණ්ඩුවේ දේශපාලන අවජාතකභාවය හඳුනා ගනිමු. – බර්නාඩ් එදිරිසිංහ ලියයි

කවර ආණ්ඩුවකට වුවද එම ආණ්ඩුව ජනතාව අතර පිළිගැනීමක් තිබිය යුතු අතර, එය දේශපාලනයේ දි ආණ්ඩුකරණයට යුක්තිසහගතභාවයක් හෙවත් සුජාතභාවයක් තිබිම ලෙස හැඳින්වේ. මෙම සුජාතභාවය හා ආණ්ඩුවකට ආණ්ඩු කිරීමට තිබෙන බලය හෙවත් අධිකාරිය යනු එකක් නොවේ. අධිකාරිභාවය තිබුණත් යම්කිසි ආණ්ඩුවකට ජනතාව අතර සුජාතභාවයක් නැති වි ගිය විට එම ආණ්ඩුවට කොපමණ අධිකාරියක් තිබුනත් තවදුරටත් පැවැතීමට නොහැකි වේ.
ශ්‍රී ලංකාවේ ගෝඨා-මහින්ද-රනිල් ආණ්ඩුවට ජනපති-අගමැති ව්‍යවස්ථානුකූල බලතල තිබුණත් ආණ්ඩුකරණය කිරීමට නොහැක්කේ ඇයි? මෙම ලිපිය දේශපාලනයේ දි ආණ්ඩුවක දේශපාලන සුජාතභාවය පරික්ෂා කරන නිර්ණායක කිහිපයක් ඔස්සේ වත්මන් ආණ්ඩුවේ දේශපාලන සුජාතභාවය සමාලෝචනය කරයි.
- ප්‍රතිපත්තිමය සුජාතභාවය-
ආණ්ඩුවක් රටක් පාලනය කරන්නේ සුදුසු ප්‍රතිපත්ති තින්දු තිරණය කිරිම මගිනි. ඊට ආර්ථික සංවර්ධනය, ආදායම් අතර ඇති-නැති පරතරතය අඩු කිරීම, සෞඛ්‍ය, අධ්‍යාපනය, දුෂණයෙන් තොර ආණ්ඩුකරණය හා පුරවැසියන්ට ආරක්ෂාව සැපයීම ඇතුලු විවිධ ප්‍රතිපත්ති ඇතුලත් වෙයි. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම මගින් මහජනතාවගේ සිතට-ගතට දැනෙන ප්‍රතිඵළ අත්පත් කර දිම මගින් ජනතාව අතර ආණ්ඩුවට පිළිගැනීමක් ලබා ගැනීම ප්‍රතිපත්තිමය සුජාතභාවය ලෙස පිළිගනු ලැබේ.
2019 සිට ගෝඨා-මහින්ද ආණ්ඩුව හා මේ වන විට ගෝඨා-රනිල් ආණ්ඩුවත් ජනහිතකාමි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිය අසමත්භාවය උවමනාවටත් වඩා ප්‍රදර්ශනය කොට තිබේ. 2019 දි සිය ව්‍යාපාරික ගජමිතුරන්ට ලබා දෙන ලද බිලියන 16 බදු සහනය ප්‍රතිඵළයක් වශයෙන් ආණ්ඩුවේ රුපියල් ආදායම සියයට 32 පහළ වැටෙන්නට සලස්වන ලදි. අදුරදර්ශි ලෙස රසායනික පොහොර ආනයනය තහනම් කිරීම කෘෂිකර්මයේ සෑම ක්ෂ්‍රේතයකම අස්වැන්න පහළ වැටිම නිසා ඔවුන්ගේ ආදායම් මාර්ග ඇණ හිටියේය. මහා බැංකුවේ විදේශිය මුදලින් තබා ගෙන තිබෙන වත්කම් සිඳි ගෙන යද්දි එම ගැටලුව කල් තබා විසඳා නොගෙන කල් මරමින් සිටිම නිසා, අවසානයේ දි 2022 අප්‍රියෙල් වන විට මෙරට විදේශිය සංචිත ඩොලර් මිලියන 15 තරම් අවම ප්‍රමාණයකට බැස්සේය. එහි ප්‍රතිඵළය වුයේ ගෑස්, ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සඳහා විදේශිය මුදල් නොමැතිකමේ පිඩාව,බර ජනතාවට පිට පැටවීමයි. ගෝඨා-රනිල් ආණ්ඩුව මහජනයා මත ඇති වි තිබෙන පිඩනය පිළිබඳ කොපමණ දුරට අසංවේදි දැයි කිවහොත් 2022 අප්‍රියෙල් මාසයේ මෙරට බදු ආදායම ඉහල නැංවිම පිණිස ශ්‍රී ලංකා මහා බැංකුවේ උපදෙස් මත ගත් තීන්දු තීරණ අදටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කොට නැති නිසා ක්‍රියාත්මක නොවේ.
අද ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසි තිබෙන ජනතා විරෝධයට හේතු වන එක් ප්‍රබල සාධකයක් වන්නේ පුරවැසියන් ගේ කායික-මානසික යහපැවැත්ම සහතික කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට අසමත් විමයි.
- නීතිමය සුජාතභාවය-
යම්කිසි ආණ්ඩුවක් සිය පැවැත්ම සහතික කර ගැනීම පිණිස රටක නීති හා රෙගුලාසි කොපමණ දුරට ජනහිතකාමි ලෙස භාවිතා කරන්නේ යන්න මත ද ආණ්ඩුවක පැවැත්මට අවශ්‍ය සුජාතභාවය සමාජය තුළ නිර්මාණය වෙයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය භාරගත් විගසම සමාජගත කළ පණිවුඩය වුයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ළඟා කර ගැනීම පිණිස තමා නීතියට ඉහළින් සිටිමින් ක්‍රියාකරන බවයි. මෙම ක්‍රියාපටිපාටියේ එක් පියවරක් වුයේ එතෙක් පැවැති යහපාලන ආණ්ඩුකරණය කණ පිට හරවමින් නීතියට ඉහළින් සිටින ජනාධිපති-කැබිනට් ආණ්ඩුක්‍රම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයයි. ජනාධිපතිවරයා ‘ගම සමග පිළිසඳර’ වැඩ සටහනක් ආරම්භ කළ අතර එක් අවස්ථාවක දි ‘සිය වාචික නියෝග’ නීතිමය නියෝගයක් වශයෙන් පිළිගත යුතු යැයි කීමට තරම් අනීතික විය. ඔවුන්ගේ සිය බලතල අවභාවිතා කිරීමේ පරිමාව කොපමණ සුවිශාල දැයි කිවහොත් එහි සිමාව හඳුනා ගත නොහැකි තරමට විශාල වේ. ජනාධිපති මුක්තිය යටතේ තමාට එරෙහිව පවරා තිබු නඩුකරයන් 35 කින් ජනාධිපති මුක්තිය භූක්ති විඳිමින් සිටි ඔහු, මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් යුද්ධ හමුදාව විසින්ම පරික්ෂණ පවත්වා යුක්තිය පසඳලිමේ ක්‍රියාවලියට ඇතුල් කොට,ග්‍රේෂ්ඨාධිකරණය විසින් මරණිය දණ්ඩනයට නියම කොට සිටි සුනිල් රත්නායක වැනි අපරාධකරුවන්ට මෙන්ම, සිය මැතිවරණ ව්‍යාපාරයට දායකත්වය දුන් මාධ්‍ය ආයතනයක හිමිකරුගේ සොහොයුරු දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම ඔහුගේ ජනපති බලතල අවභාවිතා කිරීමේ පරාසරය පෙන්වයි.
සිය මැතිවරණ සමයේ දි තමා බලයට පත් වු පසු එක් රටක් එක් නීතියක් යටතේ ශ්‍රී ලංකාව එකම නීති පද්ධතියක පිහිටුවන බව ප්‍රකාශ කළේය. නමුත් යුක්තිය පසඳිලිමේ ආයතන සිය නීතියට ඉහළින් ඇති ජනාධිපති බලතල විසින් මෙල්ල කරගත් අතර මහජනතාවගේ සිනාහවට ලක් වෙමින් බෞද්ධ ජාතිවාදි හික්ෂුවක් වු ගලබොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතිත්වයෙන් එක් රටක එක් නීතියක් සඳහා ප්‍රතිපත්ති සම්පාදනය පිණිස ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට තරම් අදුරදර්ශි විය.
තරඟකාරි ටෙන්ඩර් කැඳවීමේ පරිපාටියකින් තොරව හුදෙක් කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන මත සංවර්ධන ව්‍යාපෘති පිරිනැමීම මගින් මුල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඇති වගවීම සම්පුර්ණයෙන්ම නොසලකා හැරින. මෙරට බලශක්ති විශේෂඥයින් ගේ දැඩි විවේචනයට භාජනය වු ඇමරිකාවේ ලියා පදිංචි New Fortress Energy සමාගමට මෙරට එල් එන් ජි ව්‍යාපෘතියේ කොටස් සියයට 40 ක් ලබා දිම ඇතුලු ව්‍යාපෘති ගණනාවක්ම මෙලෙස තරඟකාරි ටෙන්ඩර් කැඳවීමකින් තොරව අද්භූත ව්‍යාපාරික සමාගම වෙත පැවරින.
නායකත්ව සුජාතභාවය-
දේශපාලන විද්‍යාර්ථින් නායකත්ව සුජාතභාවය යන්නෙන් අදහස් කරන්නේ රටක යම්කිසි නායකයෙක් සිය සුවිශේෂි පෞරුෂත්ව ගුණාංග, නායකත්ව කුසලතා නිසා සමාජය තුළ ගොඩ නගා ගත් ප්‍රතිරූපයකින් යුක්තවීම ආණ්ඩුවකට නායකත්වය ලබා දීමේ දි ජනතාවගේ සුජාතභාවය දිනා ගැනීම පිණිස අවශ්‍ය සාධකයක් යැයි තර්ක කරනු ලැබේ. ඉන්දියාවේ ගාන්ධි, දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා මිට කදිම උදාහරණ වෙයි.
මෙරට දේශපාලන ඉතිහාසය තුළ ඩි.එස්. සේනනායක ජාතියේ පියා වශයෙන් දේශපාලන ප්‍රතිරූපයක් නිර්මාණය කර ගැනීම මිට නිදර්ශනයක් වේ.
ගෝඨා-මහින්ද ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ ජාතියේ අප්පච්චි නමින් මතභෙදාත්මක විරුදධාවලියක් ආරෝපණය කර තිබු අතර විශේෂයෙන්ම යුද්ධය අවසන් විමෙන් පසු මහින්ද රාජපක්ෂ මෙම ප්‍රතිරූපය සිය දේශපාලන පැවැත්ම පිණිස කදිමට උපයෝගි කොට ගත්තේ යැයි කිව හැකිය. අනිත් අතට ගෝඨාභය රාජපක්ෂට එවැනි ප්‍රතිරූපයක් ගොඩ නැගුනේද යන්න මතභෙදාත්මකය. රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන සුපරි ක්‍රිඩකයෙක් වශයෙන් ප්‍රතිරූපයක් ගොඩ නගා තිබින. නමුත් ඔහුගේ දේශපාලන ක්‍රියාකාරිත්වය නිසා ‘දේශපාලනයේ දි දක්ෂ ක්‍රිඩකයෙක් වු නමුත් එම තරඟ පාවා දෙනෙකු’ ගේ තත්ත්වයට ඔහුගේ ප්‍රතිරූපය හැකිලි ගොස් තිබේ.
- මතවාදි හෙවත් දෘෂ්ටිමය සුජාතභාවය–
දේශපාලනයේ දි ජාතික නායකයින් කවර හෝ දේශපාලන මතවාදයක් වෙනුවෙන් පෙනි සිටියි. එය ජාත්‍යාලවාදය, ජාතිවාදය, ආගමික මුලධර්මවාදය, සමාජවාදය, නව ලිබරල්වාදය වැනි මතවාදයන් ඒ ඒ දේශපාලන සන්දර්භයන්ට ඔබින අයුරින් ගලපා ගැනීමක් දක්නට පිළිවන. නමුත් වැදගත් වන්නේ දේශපාලන නායකයින් විසින් ප්‍රවර්ධනය කරනු ලබන දේශපාලන මත වාදය සමාජයේ විවිධ ජාතීන්, ආගම් ආදි කොටස් එකට බැඳ තබා ගන්නක් විමයි. ජාතික විමුක්ති අරගල වලදි බිහිවන එවැනි දේශපාලන මතවාදය සමාජය එක්සත් කිරීමටත් තිරසාර සංවර්ධන මාවතකට ඇතුල් විමටත් විශාල වැඩ කොටසක් ඉටු කරයි.
ගෝඨාභය-මහින්ද ආණ්ඩුව සිය රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළේ අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපිට ජනාධිපති දිවුරුම් දිමෙනි. එහිදි ජාතිය ඇමතු ජනාධිපති ගෝඨාභය බහුවාර්ගික බහු ආගමික රටක් ඉදිරියේ කියා සිටියේ තමා ‘සිංහල බෞද්ධ’ ජාතියේ ජනාධිපතිවරයා වෙන බවයි. එවැනි ප්‍රතිරූපයක් ටික කලකට හෝ ආරක්ෂා කොට ගත හැක්කේ ජනහිතකාමි සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආණ්ඩුවකට පමණි.
ජන අරගලය විසින් සිය මුදල් අමාත්‍ය ධුරයෙන් පලවා හැරි බැසිල් රාජපක්ෂ සිය අවසාන මාධ්‍ය හමුවේ දි ‘ රාජපක්ෂවරුන්ට දේශපාලනය කළ හැකි නමුත් රාජ්‍ය පාලනය කළ නොහැකි’ යන කියමන රාජපක්ෂ-මහින්ද-රනිල් පාලන තන්ත්‍රයට ඉතිහාසයේ ලැබෙන ස්ථානය කුමක් දැයි ඉඟි කළේ යැයි කිව හැකියි.