රටවැසියන් ගැන සිතන්න පාලකයන්ගෙන් ආගමික නායකයන් ඉල්ලයි – මහනුවර වාර්තාකරු

පක්ෂ නායකයින් ඇතුළු සියලු දේශපාලනඥයින් රට පිළිබඳවත් ජනමතය කුමක්ද යන්නත් නිසි ලෙස තේරුම් ගෙන තීන්දු තීරණ ගැනීම වැදගත් යැයි මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පවසති.
ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙන්නේ නම් එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් බවද උන්වහන්සේ දෙනම ප්‍රකාශ කළහ.
රට විපතට පත්කළ පාලකයින් පළවා හැරීමේ අරමුණින් කොළඹ උපවාසයක් සිදුකළ බැඳිවැවේ දියසේන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සමඟ ඊයේ (11) මල්වතු අස්ගිරි උභය විහාරයන්ට ගිය අවස්ථාවේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම මේ බව පැවසූහ.
උලපනේ සුමංගල හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ද අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.
රට පත්ව තිබෙන අර්බුදයෙන් මුදා ගැනීම සඳහා ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා අවස්ථා කිහිපයකදීම යෝජනා ඉදිරිපත් කළ නමුත් ඊට කන්දීමක් සිදු නොවුණු බවද මල්වතු අස්ගිරි මහනාහිමිවරු ප්‍රකාශ කළහ.
මේ අවස්ථාවේ සියලු දෙනා රට වැසියන් ගැනත් ඔවුන්ගේ අපේක්ෂාවන් පිළිබඳවත් සැලකිලිමත් වෙමින් තීන්දු තීරණ ගත යුතුව තිබෙන බවත් උන්වහන්සේ දෙනම පැවසූහ.
මේ අවස්ථාවේ රටේ ජනතාව සිටින්නේ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී බවත් ඔවුන් එම තත්ත්වයෙන් මුදා ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙන බවත් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම අවධාරණය කළහ.
මෙහිදී අදහස් දැක්වූ උපලනේ සුමංගල හිමියෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත ජනපතිවරයෙක් තෝරා ගන්නා ලෙස සියලු පක්ෂ නායකයින් ගෙන් ඉල්ලා සිටින්නේ යැයි පැවසූහ.
මේවන විට රටේ ජනතාව ජන බලය යනු කුමක්ද යන්න පැහැදිලිව ඔප්පුකර පෙන්වා තිබෙන බවත් තව දුරටත් දේශපාලන සූදු කෙළි වල නිරත නොවී ජනතාවට අවංකව තීන්දු තීරණ ගැනීමට පක්ෂ නායකයින් ක්‍රියා කළ යුතුව තිබෙන බවත් උන්වහන්සේ කීහ.
බැසිල් රාජපක්ෂ මහතා තමන්ට අවශ්‍යය ලෙස නැවත වරක් රටේ පාලනය ස්ථාපිත කර ගැනීමට උත්සහ කරමින් සිටින බවත් තව දුරටත් රාජපක්ෂවරුන්ගේ වහලුන් නොවී ජනතාව ගැන සිතා ස්වාධීනව තීන්දු තීරණ ගන්නා ලෙස පක්ෂ නායකයින්ට දැනුම් දෙන බවත් සුමංගල හිමියෝ පැවසූහ.
තමන්ගේ බත් බැලයෝ යොදාගෙන ආණ්ඩුවක් පිහිටුවන්න බැසිල් රාජපක්ෂ මහතා ගන්නා උත්සහය නිසා ඇතැම් විට මේ රට ලේ විලක් බවට පත්වීමට ඉඩ තිබෙන බවත් මෙය සියලු දෙනා තේරුම් ගත යුතුව තිබෙන බවත් උන්වහන්සේ කීහ.
ඡායාරූප-උලපනේ සුමංගල හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාව