ජන අරගලයේ අයිතියට පාර කැපු  1992 ජුලි ‘ජන ඝෝෂාව’ – බර්නාඩ් එදිරිසිංහ ලියයි

අද නීත්‍යානුකූල විසම්මුතියේ සාමකාමී ප්‍රකාශනය මැඩලීමෙන් සිදුවිය හැක්කේ, නොවැළැක්විය හැකි ලෙස, වෙනත් දිනක ප්‍රචණ්ඩත්වයේ ව්‍යසනකාරී පිපිරීමක් පමණි.’ විනිසුරු මාර්ක් ප්‍රනාන්දු – ජන ඝෝෂා නඩු තීන්දුව

අද ආදරයේ ජන අරගලය විසින් භුක්ති විඳන ආණ්ඩුවට එරෙහිව සාමකාමි ලෙස විරෝධය පළ කිරීමට තිබෙන අයිතිය, මුලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කළ සිදුවීමක් ලෙස 1992 ජුලි 01 ජන ඝෝෂා නඩුව හැඳින්විය හැකියි.

මිට තිස් වසරකට පෙර  එකල පැවති ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද විවේචනයට භාජනය වි තිබිණ. එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් උතුරු- නැගෙනහිර ගෙන ගිය යුද්ධය, ඉන්දියාවේ මැදිහත් වීම, හදිසි අවස්ථාව පවත්වා ගෙන යාම, අඛණ්ඩව මානව හිමිකම් උල්ලංඝනය මෙන්ම ඉහළ යන ජිවන වියදම නිසා සමාජය තුළ ආණ්ඩුව සම්බන්ධයෙන් විශාල අප්‍රසාදයක් ඇති වි තිබිණ.

ප්‍රධාන විරුද්ධ පක්ෂය වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් සංවිධානය කොට තිබු ‘ ජන ඝෝෂා’ විරෝධතා මාලාවේ එක් දිනයක් වුයේ 1992 ජුලි 01 දිනයි. එදින දිවයිනේ විවිධ ප්‍රදේශවල දහවල් 12.00ට ආණ්ඩු විරෝධින් විසින් විවිධ මාදිලියේ ශබ්ද නගමින් ප්‍රසිද්ධ ස්ථානයන් හි රුස්වි ආණ්ඩුවට සිය විරෝධය පළ කිරිම ආරම්භ කිරිමට කටයුතු යොදා තිබු  අතර පොලිසිය හා ආරක්ෂක හමුදා විසින් විවිධ ආකාරයෙන් එම විරෝධතා මර්දනය කරන ලදි.

ඉංගිරිය ජන ඝෝෂාව-

ජුලි 01 දින 12.40ට පමණ දහසක පමණ පිරිසක් රත්නපුර පාර ඔස්සේ ඉංගිරිය බෝ ගස අසල පිහිටි සුපරි වෙළඳ සැල අසලට සටන් පාඨ කියමින් ගමන් කරනු දක්නට ලැබිණ. එම පිරිසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු මෙන්ම හොරණ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයෙකු වු අමරතුංග ඇතුළු කණ්ඩායමක ද අයත් විය. ඔවුහු බෙර, නළා ආදිය රුගෙන ඉංගිරිය නගරයේ බස් නැවතුම් පොළ අසල විරෝධතාවයේ නිරත වුහ. බෝ ගස අසල ඉංගිරිය පොලිසියේ කැරලි මර්දන කණ්ඩායමක් ස්ථාන ගත කර තිබිණ. විරෝධතාකරුවන් ‘කැරලි ගසව්’ වැනි සටන් පාඨ කියමින් එම ස්ථානය පසු කරන්නට විය. එතැනට පැමිණි ඉංගිරිය පොලිසියේ පොලිස් පරික්ෂක ප්‍රියදර්ශන විසින් අමරතුංග වයමින් සිටි බෙරය උදුරා‌ ගෙන බිම දමා මොල් ගසකින් තලා දමන ලදි. විරෝධතාකරුවන් සිය විරෝධතාව ඉදිරියට ගෙන ගිය අතර තමන් අතැති අනෙකුත් භාණ්ඩ හඬ තලමින් ඉංගිරිය සුපිරි වෙළඳ අසලට ගමන් කරන්නට වුහ. පොලිස් පරික්ෂවරයා නැවත වරක් මොල් ගසින් අමරතුංග අත තිබු අනෙක් බෙරයටත් පහර දි විනාශ කරන ලදි. අමරතුංග ඇතුලු කණ්ඩායම තවදුරටත් සිය විරෝධතාව පවත්වා ගෙන යන්නේ එවර අත්පොළසන් දෙමින් විරෝධතාවයේ නිරත විය. මුලික අයිතිවාසිකම් නඩුවේ දෙවන වගඋත්තරකරු ලෙස නම් කර තිබු ඉංගිරිය පොලිසියේ තවත් පොලිස් නිලධාරියෙකු විසින් අමරතුංගට සිය ‘ඝෝෂාව’ නතර කරන ලෙස නියෝග කරන ලද නමුත් අමරතුංග එම නියෝගය නොතකා  සිය විරෝධතාව පවත්වා ගෙන ගියේය. එහිදි එම පොලිස් නිලධාරියා විසින් අමරතුංග ට පහර දෙන ලදි. විරෝධතාකරුවන් මහා මාර්ගයට පිවිස පාර අවහිර කරමින් තවදුරටත් පොලිසියට විරුද්ධත්වය පාමින් උද්ඝෝෂණයේ නිරත වන අවස්ථාවේ දි පිරිස විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ගසන ලදි. කඳුලු ගෑස් පිඩනය නිසා විසිර ගිය කණ්ඩායම නැවත වරක් රත්නපුර-ඉංගිරිය මහා මාර්ගයට පිවිස උද්ඝෝෂණයේ නිරත වන විට පොලිසිය විසින් පිරිස විසුරුවා හැරීම පිණිස බැටන් ප්‍රහාරයක් දියත් කෙරිණ. අමරතුංග ඇතුළු  සතර දෙනෙක් තුවාල ලැබු අතර  පිරිස උද්ඝෝෂනය නතර කොට විසිරි ගියහ.

අමරතුංග විසින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වන සෑම පුරවැසියෙකුටම භාෂණයේ, රුස්වීමේ,සමාගමයේ,රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහසට හිමිකම් ඇත්තේ යන වගන්තිය යටතේ  ඉදිරිපත් කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කළේය.

නඩු තීන්දුව-

පළමු වැන්න “භාෂණයේ නිදහස” යන්නට වචන හා කටින් පිට කරන ශබ්ද ( හු කීම, විසිල් ගැසිම) යනාදියට අමතරව තවත් බොහෝ දෑ අඩංගු බව විවිධ ජාත්‍යන්තර නඩු තීන්දු මගින් පෙන්වා දිමයි. ඒවා අතරට  පුවරු, පිකටින්,අත්වල කළු පටි පැළඳීම, විවිධාකාරයේ සංකේතාත්මක පිළිස්සීම, සංදර්ශකය, ඕනෑම කොඩියක්, ලාංඡනයක්, බැනරයක් හෝ උපාංගයක්, ජැකට් දරණ පැළඳීම, බෙර වාදනය, අත්පුඩි ගැසීම් සහ වෙනත් ශබ්ද, සංගීත නොවන ශබ්ද නැගීමත් අයත් වන බව පෙන්වා දිමයි.

දෙවැන්න මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා විසින් මිට ඉහත නඩුවකදීත් පෙන්වා දි තිබු පරිදි ආණ්ඩුවට විරුද්ධ විමට පුරවැසියන්ට තිබෙන අයිතියයි. පළමු වගඋත්තරකරු සිය දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබු එක් කාරණයක් වුයේ ‘ උක්ත විරෝධතාව ආණ්ඩු විරෝධි’ විරුද්ධතාවක් නිසා එම විරෝධතාව කඩාකප්පල් කළේය යන උපුටා දක්වු විනිසුරුවරයා පෙන්වා දුන්නේ පුරවැසියන්ට ආණ්ඩුවට විරුද්ධ විමට තිබෙන අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තියේ දක්වා ඇති ‘මහජන ආරක්ෂාව’ කඩ නොකර භූක්ති විඳිය හැකි  මුලික අයිතිවාසිකමක් බවයි. ඒ අනුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් කියා සිටින්නේ රජය සිතීමේ අයිතිය ආරක්‍ෂා කරන ලෙසට බව පෙන්වා දුන් විනිසුරුවරයා ආණ්‌ඩුක්‍රම 15 වැනි වගන්තිය යටතේ නීතියෙන් පනවා ඇති සීමාවන්ට මෙන්ම ආවේණික සීමාවන්ට යටත්ව ඔබ සිතන පරිදි කතා කිරීම, ජනප්‍රිය නොවන, පිළිකුල් සහගත, රුචි නොවන හා සත්‍ය යැයි අනුමාන කරන අදහස් ප්‍රකාශ කිරීම  භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසේ සීමාව තුළ, ප්‍රචණ්ඩත්ව  හෝ වෙනත් නීතිවිරෝධී හැසිරීම් වෙනුවෙන් පෙනී නොසිටටිමින් හා අනුන් ප්‍රචණ්ඩත්වයකට උසිගැන්වීමක් නොමැතිව භුක්ති විඳිය හැකි බවයි.

මේ අනුව පෙත්සම්කාර අමරතුංග ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වි ඇතැයි තින්දු කළ මාර්ක් පුනාන්දු ප්‍රමුඛ විනිසුරු මඬුල්ල වග උත්තරකරුවන් ට පෙත්සම්කරුට රුපියල් 50,000 ක වන්දියක් ගෙවීමට තීන්දු කරන ලදි.

ජන ඝෝෂා නඩුවෙන් තිස් වසරක් තුළ අප සාමකාමි ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භුක්ති විඳිම සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් ලබා සිටිමු. ජන අරගලය ජයග්‍රහණය කරා ගෙන යා හැක්කේ ආණ්ඩු විරෝධය නිර්මාණශිලි කර ගැනිම හා සාමකාමි කර ගැනිම තුලින්  පමණි.  එදා මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා පෙන්වා දුන් පරිදි විසම්මුතික මහජන මතයට ආණ්ඩුව සවන් යොමු නොකරන්නේ නම් එය විනාශකාරි පිපිරිමක් කරා වර්ධනය විය හැකියි.

විසම්මුතියට ඉඩ දීම පමණක් නොව ඊට සංවේදිවිම ද බලධාරින් ගේ වගකීමකි.

ජන අරගලයට ප්‍රචණ්ඩත්වය කරා පුපුරා ගියහොත්  එහි  වගකීම ආණ්ඩුව විසින් භාර ගත යුතු වෙයි.

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *