84 හැවිරිදි මව භාර ගැනීම දියණියන් තිදෙනා ප්‍රතික්ෂේප කරයි – මහනුවර වාර්තාකරු

එංගලන්තයේ වාසය කරන බාල දියණියගේ නිවසේ මාස හයක් ගත කිරීමෙන් පසු වීසා කාලය ඉකුත් වීම නිසා මෙරටට පැමිණි 84 හැවිරිදි මව බාර ගැනීමට මෙරට වාසය කරන ඇගේ දියණියන් තිදෙනා ප්‍රතික්ෂේප කිරීම නිසා දවුලගල පොලීිසිය මැදිහත්ව පෙරේදා (26) රාත්‍රියේ එම මව ගෙළිඔය ප්‍රදේශයේ මහලු නිවාසයකට යොමුකර තිබේ.
මෙරටට පෙරේදා (26) පෙරවරු 8.00 ට පමණ පැමිණි තිබෙන මව කැබ් රථයකින් දවුලගල ප්‍රදේශයේ පදංචි වැඩි මහලු දියණියගේ නිවසට ගිය අවස්ථාවේ ඇයව බාර ගැනීම නිවැසියන් ප්‍රතික්ෂේප කර ඇත.පසුව වැඩිමහලු දියණිය ඇතුළු පිරිස මව රැගෙන දවුලගල පොලීසියට පැමිණ තිබේ.
වැඩි මහල් දියණිය වයෝවෘද්ධ මව බාර නොගැනීම නිසා ඇයව කඩවත හා පේරාදෙණිය ප්‍රදේශ වල පදිංචි අනෙක් දියණියන් දෙදෙනා වෙත යොමු කිරීමට පොලීසිය උත්සහ කර ඇතත් ඔවුන් දෙදෙනාද මව බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
අදාළ වයෝවෘද්ධ කාන්තාව දියණියන් පස් දෙනෙකුගේ මවක් වන අතර වෛද්‍යවරියක් වන එක් දියණියක් කළකට පෙර මියගොස් තිබේ.
නීතීඥවරියක් වන බාල දියණිය කළක පටන් එංගලන්තයේ ජීවත් වන අතර ඇය විටින් විට අවස්ථා කිහිපයකදී මව එරටට කැඳවා ගෙන ගොස් ඇත.
වර්ෂ 2014 දී මෙම මවගේ සැමියා මරණයට පත්ව තිබේ.ඉන්පසු පේරාදෙණියේ පිහිටි නිවසේ ටික කළක් ජීවත් වූ ඇය මාස හයක් සඳහා එංගලන්තය බලා නික්ම ගොස් තිබේ.
යළි මෙරටට පැමිණි මව සහෝදරියන්ගේ නිවෙස් වල කෙටි කාලයක් ගත කළ බවත් ඒ සඳහා තමන් මාසිකව ඔවුන්ට මුදල් ලබා දුන් බවත් එංගලන්තයේ වාසය කරන බාල දියණිය වන එම්.උඩවීදිය මහත්මිය අප කළ විමසීමකදී ප්‍රකාශ කළාය.
ගතවූ කාලය තුළ මව වැඩි හරියක් ගත කළේ තමන්ගේ කොළඹ පිහිටි නිවසේ බවත් ඇයට ආවතේව කිරීමට කාන්තාවක් නිවසේ නතර කර තිබූ බවත් උඩවීදිය මහත්මිය කීවාය.
මෙවර මව ලංකාවට එවන ලද්දේ ඇගේ ආවතේව කටයුතු සඳහා සුදුසු කාන්තාවක් සොයා ගන්නා තෙක් සතියක හෝ දෙකක කාලයකට සහෝදරියකගේ නිවසේ සිටින ගත කරන ලෙස දැනුම් දී බවත් ඔවුන් කිසිවෙකුත් මව බාර නොගැනීම නිසා තමන් අසරණ තත්ත්වයකට පත්වූ බවත් ඇය ප්‍රකාශ කළාය.
දවුලගල පොලීසිය වෙත පෙරේදා (26) පස්වරු 3.00 ට පමණ මෙම මව දරුවෙකුට බාරදීම සඳහා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත දිසානායක මහතා කළ සියලු උත්සහයන් ව්‍යාර්ථ වීමෙන් පසු ඔහු උඩුනුවර ප්‍රාදේශීය ලේකම්වරයා සහ සමාජසේවා නිලධාරිවරයා දැනුම්වත් කොට ඇයව රාත්‍රි 10.00 ට පමණ ගෙළිඔය මහලු නිවාසයකට බාරදීමට පියවර ගෙන තිබේ.