හිගමනට වැටුණු මහනුවර බලු සුරතලි – මහනුවර වාර්තාකරු

රට මේ මොහොතේ පවතින්නේ බැරෑරුම් තැනකය.දිනෙන් දින ඉහළ යන උද්ධමනය හමුවේ මෙතෙක් පවත්වාගෙන පැමිණි ජීවන රටාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම අති බහුතරයකට අසීරු වී තිබේ. තවකෙකුට උපකාර කිරීම තබා අඩු තරමින් තම වේල් තුන පිරිමසා ගැනීමටවත් නොහැකි තත්ත්වයකට පත්වූවන්ගේ දුක්,කඳුළු,වේදනා දැන් නිතර අසන්නට දකින්නට ලැබේ. මේ දුක්ගිනි හැකි පමණින් හෝ නිවා දමන්නට අනෙකාගේ දුකේදී උණුවෙන හදවත් ඇත්තෝ විවිධ වූ සමාජ සත්කාරක වැඩසටහන් දියත් කරමින් සිටිති. මෙවන් පසුබිමක රට පවතිත්දී කෙතරම් කුස ගින්න දැනුනත් එය හඬගා කියන්නට නොහැකිව අසරණව සිටින සුනඛයින් 95 දෙනෙකුට පමණ දිනපතා ආහාර සපයන කාන්තාවක් පිළිබඳ අපට අසන්නට ලැබුණේ මහනුවර ගෙළිඔය ප්‍රදේශයෙනි.

නිවසේ සිටින සුනඛයින් 65 දෙනට අමතරව ඇය අයාලේ යන සුනඛයින් 30 දෙනෙකුට පමණ දිනපතා ආහාර ලබාදෙයි.මේ සඳහා දිනකට රුපියල් තුන්දහසක් පමණ වැය කළ ඇය දැන් අසරණව සිටින්නේ එතරම් මුදලක් වැය කිරීමට නොහැකි ලෙස අගේ ආර්ථික තත්ත්වය බිඳ වැටී ඇති නිසාය. මේ නිසා ඇගේ සුනඛයින්ටද දැන් දිනකට එක වේලකින් සෑහිමකට පත්වන්නට සිදුව තිබේ. මේවන විට ඇය වැටී සිටින්නේ එක වේලක් හෝ සුනඛයින්ට ලබා දීමට නොහැකි තත්ත්වයකය. මේ නිසා කවුරුන් හෝ මෙම සතුන්ගේ කුසගිනි නිවීම සඳහා සහය වෙන ලෙස රෝෂිණී ගුණරත්න නැමැති එක්දරු මව ඉල්ලීමක් කරයි.


මම සතුන්ට හරි ආදරෙයි. මිනිස්සු බලු පැටව් මහ මඟ අත්හැරලා යනවා.විශේෂයෙන් ගැහැණු සතුන්. මීට අවුරුදු 30 ක විතර කලින් මගේ නිවසේ බල්ලෝ පහක් හිටියා. අවුරුදු ගානකට කලින් ගෙළිඔයට ගංවතුරක් ආවා.එදා මමයි දුවයි වතුරට අහුවෙලා හිටපු බැල්ලියක් පැටව් තුන් දෙනෙක් එක්ක ගෙදරට අරන් ආවා. මම ටවුමේ ඉන්න බල්ලන්ට හැමදාම කෑම හදාගෙන ගිහින් දෙනවා. ඒ සත්තු මාව හොඳට අදුරනවා.කොහේ හරි යන්න ගියොත් එයාලා මගේ පස්සෙන් එනවා.මම සතුන්ට ආදරෙයි කියලා දන්න නිසා මිනිස්සු බල්ලෙක් අනතුරකට ලක්වෙලා හිටියත් මට කෝල් කරලා කියනවා.මොකද මම ඒ සතාව ගෙනත් ප්‍රතිකාර කරන බව එයාලා දන්නවා. එක දවසක් යූරියා බෑග් එකක කට ගැට ගහලා බලු පැටව් 09 ක් අපේ ගේ ගාව දාලා තිබුණා.මේ වගේ දවසින් දවස අපේ ගෙදර බල්ලෝ එකතු වුණා.දැන් 65 දෙනෙක් ඉන්නවා.ගොඩක් අය ඉන්නේ ප්‍රතිකාර ලබාදිය යුතු තත්ත්වයේ.වාහන වලට හැප්පිලා වගේම මිනිස්සු පහර දීලා තුවාල වුණු අයත් විවිධ රෝග වලින් පීඩා විඳින අයත් අපේ ගෙදර ඉන්නවා.

හෝටල් වලින් ඉතුරු වෙන කෑම මම වීල් එකකින් ගිහින් ගේනවා.දැන් හෝටල් වලින් ඉස්සර වගේ කෑම වීසි කරන්නේ නැහැ.අයින් කරන කෑම ඌරු කොටු කරන අය මුදල් දීලා අරන් යනවා.ඉස්සර කෑම එකතු කරන්න වීල් එකකින් ගියාම රුපියල් තුන්සීයක් හාරසීයක් ගන්නේ.දැන් දෙදහකට අඩුවෙන් යන්න බැහැ කියනවා.මේ නිසා සතුන්ට කන්න දෙන්න බැරුව මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ.මගේ ළඟ තිබුණු අන්තිම රුපියල් 8000.00 ක මුදල වියදම් කරලා හාල් කිලෝ 25 ක් ගෙනාවා.දැන් ඉස්සර වගේ මස් කඩ වලින් මස් කටුවත් දෙන්නේ නැහැ.මගේ මහත්තයා වැඩ කරන්නේ දුම්රිය දෙපාර්තමේනතුවේ.දුව රැකියාවක් කරන්නේ නැහැ.මහත්තයාගේ පඩියෙන් මේ සත්තු හැමෝටම කන්න දෙන්න විදිහයක් නැහැ.මමයි දුවයි හෝටල් වලට ගිහින් කුණු කූඩ අවුස්සන තැනට වැටිලා ඉන්නේ.එක වෙලාවකට හිතෙනවා මේ ගෙවන්නේ පූරුවේ කරපු පවක්ද කියලා.සමහර දවස් වලට සල්ලි නැති නිසා පාරේ ඉන්න බල්ලන්ට කන්න අරන් යන්නේ නැහැ.මම උදේ 9.00 වෙනකොට එන බව එයාලා දන්නවා.කන්න අරන් ගියේ නැති දවසට බල්ලෝ තිහක් විතර උදේ 10.00 වෙනකොට අපේ ගේ ඉස්සරහට ඇවිත් බලාගෙන ඉන්නවා.මේ සතුන්ට කන්න දෙන්න උදව් කරන්න කිව්වම සමහරු මිනිස්සුන්ටත් කන්න නැතුව ඉන්න වෙලාවේ ඔයා බල්ලන්ට කන්න දෙන්න කියන්නේ පිස්සුද කියලා අහනවා.දැන් මගේ ළඟ සතයක්වත් නැහැ. ඒ නිසා මේ සතුන් ගැන අනුකම්පා කරලා එයාලට කෑම දෙන්න උදව් කරන්න කියලා මම ජනතාව ගෙන් ඉල්ලනවා.

රෝෂීණී ගුණරත්න මහත්මිය පශු වෛද්‍යවරයෙකුගේ සහායිකාවක ලෙස කටයුතු කරමින් සුනඛයින් වන්ධ්‍යාකරණය සිදුකරනු ලබයි. පැටව් බිහිකළ පසු මහමඟ දමා නොයන ලෙසත් ගැහුණු සතුන් වන්ධ්‍යාකරණයට ලක්කර ගන්නා ලෙසත් ඇය ඉල්ලීමක් කරයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *