පොලිසියට තර්ජනය කල කැම්පස් සිසුනට වැඩ වරදී – මහනුවර වාර්තාකරු

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පල්ලේකැලේ ජත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කරමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ සිසුන් තිදෙනෙකු සහ සිසුවියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ක්‍රීඩාංගණයට ඇතුළු වන පල්ලේකැලේ ආයෝජන මණ්ඩල පිවිසුම ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට බැණ තර්ජනය කරමින් මොවුන් කළහකාරි ලෙස හැසිරුණු බව පොලීසිය පවසයි.
සැකපිට අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් සිව්දෙනා මාවතගම,කොස්ලන්ද,අකුරම්බොඩ හා කැකිරාව ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.
ක්‍රීඩාංගණයට අතුළු වන පුද්ගලයින්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරමින් සිටියදී බීමතින් පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරී ඇත. ඔවුන් පාලනය කිරීමට උත්සහ කළ අවස්ථාවේ අදාළ පිරිස අතර සිටි මෙම සිසුන් සිව්දෙනා කළහකාරි ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර තිබේ.
පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කර නිලධාරීන්ට බලහත්කාරපෑමක් සිදුකිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් සිව්දෙනා අවුරුදු 24 -28 වයසේ පසුවන අතර ඔවුන් පල්ලේකැලේ පොලීසිය මගින් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.