බිත්තර වී වල කිසිදු හිඟතාවයක් නැතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. නිමල් කොළඹිස්ස – මහනුවර

මෙවර යල සහ ඉදිරි මහ කන්න සඳහා බිත්තර වී වල කිසිදු හිඟතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.
සිය දෙපාර්තමේන්තුව සතු ගබඩා තුළ ප්‍රමාණවත් බිත්තර වී පවතින බවත් අවශ්‍යතාව අනුව එම බීජ සපයන බව ඒ මහතා කීවේය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ එම දෙපාර්තමේන්තුවේදී පැවැති රටම වවමු – එක්ව දිනමු වගා වැඩසටහනට සහභාගීවී අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.
රටට අවශ්‍ය භෝග රට තුළ වගා කිරීමේ ජාතික වැඩසහන් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් ඒ මහතා එහි ආයතන අංශයේ සමාරම්භය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ආරම්භ කළ බව කීවේය.
ඒ අනුව සියලුම රජයේ ආයතන තුළ භෝග වගා කිරීම සහ භෝග සඳහා බීජ නිෂ්පාදනය කිරීම මේ තුළින් අපේක්ෂා කරන බව කීවේය.
බීජ අවශ්‍යතාව පිළිබදව කරුණු දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා, කව්පි, මුං, උදු, තල වැනි දේශීය බහුල බීජ වල කිසිදු හිඟතාවයක් නොමැති බව සඳහන් කළේය. උඩරට හා පහතරට දේශීය එළවලු බීජ ද අවශ්‍ය පරිදි දෙපාර්තමේන්තුව තුළ පවතින බව ද ඒ මහතා කීවේය.
ඒ අනුව පහතරට එළවළු ප්‍රභේදවල වට්ටක්කා, පතෝල, බණ්ඩක්කා, මෑ බීජ බහුල නමුත් දේශීයව වගා නොකරන කැරට්, බීට්, සලාද ආදී බීජ ආනයනය කළ යුතුව ඇතැයි කීවේය.
එළවලු වගාව මාස දෙක සහ මාස තුනකට වරක් සිදුකරන බැවින් උඩරට හා පහතරට එළවළු බීජ සුලභ කළ යුතු බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඉදිරි මහ කන්නය සඳහා දෙමුහුන් බීජ සපයන්නේ නම් එම බීජ මේ වන විට ආනයනය කළ යුතු බව පෙන්වා දුන්නේය. දෙමුහුන් බීජ ආනයනය මේ වන විට ආරම්භ කළ හොත් ඉදිරි මහ කන්නයේදී බීජ හිඟතාවයක් මතු නොවන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් දේශීය බීජ නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගන්නා බව කී ඒ මහතා රටේ අවශ්‍යතාවයට සරිලන පරිදි රෝපණ ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම සැලසුම් කරන බව ද කීවේය. ඒ අනුව ග්‍රාමයක මරණාධාර සමිති මට්ටමින් පවා භෝග වගා කිරීම අපේක්ෂා කරන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කඩිනම් වගා වැඩසටහන් ආරම්භ කරන බව අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.