බහුදින ධීවරයන් බෝට්ටු ගැට ගසන්න සුදානම් . ප්‍රසාද් පුර්ණමාල්

ඉන්ධන මිල වැඩිවීමත් සමග පවතින තත්වය හමුවේ රැකියාව කරගෙන යාමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් එය සැලකිල්ලට ගෙන ඉන්ධන සහනාධාරයක් ලබා නොදුනහොත් සමස්ථ දිවයිනේම බහුදින යාත්‍රා හිමියන් ධිවර කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය පවසයි.

වෙන්නප්පුවේදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සාමාජිකයන් මෙසේ අවධාරණය කර සිටියහ. යෝජිත ඉන්ධන සූත්‍රයෙන් ද තමන්ට සාධාරණයක් ඉටු නොවන බව  පෙන්වාදෙන එම නියෝජිතයින් රටට ඩොලර් උත්පාදනය කිරීමට ඇති මෙවැනි ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි රජයේ අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක් බව ද පවසති. එමෙන්ම රටට ඩොලර් අහිමි වනවා සේම ලක්ෂ ගණනකට රැකියා අහිමි වීමේ තර්ජනයක් පවතින බවද ඔවුන් චෝදනා කරති.

මේ සම්භන්ධව අදහස් දක්වන සමස්ථ ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා

තෙල් මිල අඩු කරල අපට සහනයක් ලබා නොදුන්නොත් මේ රැකියාව ඉදිරියේ දීද පවත්වා ගැනීමට නොහැකි වෙනවා. පවතින මිල ගනන් අනුව අපට බෝට්ටුවක් දියත් කරන්න ලක්ෂ හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් යනවා. ඉතින් එහෙම කරලා ලක්ෂ 50 ක පමණ මාළු ගෙනල්ලා මොනව කරන්නද ? අපිට මේ රැකියාව කරන්න තත්ත්වයක් නෑ.. මේ බව දැන දැන අපට පාඩු විදින්න බැහැනේ. ඒ හින්දා අපි සංගමයක් වශයෙන් තීරණයක් ගත්තා සියලුම දෙනා බෝට්ටු ටික වරායවල් වල බැදලා තියන්න. අපි මේ සියළුම දෙනා බැංකු ණය අරගෙන තමයි මේ යාත්‍රා අරන් තියෙන්නෙ. එහෙම නැත්නම් බැංකු ටිකත් කඩා වැටෙයි අපි කියනවා රජයට මේ බෝට්ටු ටික අරන් අපට සල්ලි දෙන්න කියලා. අපි පහුගිය අවුරුද්දේ රජයට ඩොලර් මිලියන තුන්සිය අසූවක් පමණ උපයලා දුන්නා. ඒකෙන් කොටසක් හරි දීලා අපට ඩීසල් සහනයක් ලබා දෙන්න කියල අපි යෝජනා කරනවා.

 සමස්ථ ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා
දැන් අපිට බෝට්ටුවක් දියත් කරන්න විශාල පිරිවැයක් දරන්න සිද්ද වෙලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක්. මීට කලින් අපිට බෝට්ටුවක් දියත් කරන්න ගියේ ලක්ෂ විසිපහක්, තිහක් පමණ. අනිත් එක ඛනිජ තෙල් ඇමති ධීවර අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යවරයෙක් පැහැදිලිවම දන්නවා එතුමා මේ රැකියාව මේ ආකාරයට කරන්න බැහැ කියලා. අවම වශයෙන් අපි ගැන මේ සම්බන්ධව අමාත්‍යවරයා කතා කරන්නෙත් නෑ. අපිව නොසලකා හැරලා තියෙන්නේ. දැන් මාස දෙකක් තිස්සේ අපට ඉන්ධන නෑ. දවසට එක බවුසරයක් එන්නේ. ඉතින් ඒ බවුසරයේ තෙල් බෝට්ටු දෙක තුනකට ගහපුවාම ඉවරයි. මේ තත්ත්වය මත දැන් දික්ඕවිට වරායෙ පමණක් බෝට්ටු 200 නැංගුරම් දාලා තියෙනවා. ලංකාවෙම ගත්තොත් බෝට්ටු 4000 ක් පමණ. ඒ වගේම මේ තෙල් මිල සහ බඩු මිල වැඩි වීමෙන් මුදල් සපයා ගැනීමට නොහැකිව තවත් බෝට්ටු රාශියක් මුහුදට දාන්න බැරුව ඉන්නවා. පසුගිය රජයේ අපට ඉන්ධන වලට සහන මිලක් ලබා දෙන්න කැබිනට් අනුමැතියට දාන්න හිටියෙ . මේ පැවැති තත්ත්වය අනුව එය ඉදිරිපත් කරන්න බැරුව ගියා. අපි ඉල්ලා සිටින්නේ නැවතත් සලකා බලා කඩිනමින් අපිට මේ ගැටළුවට විසඳුමක් ලබා දෙන්න කියල.

‘සමස්ථ ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ උප ලේකම් සුනිල් ප්‍රනාන්දු

අපි  ටූනා මසුන් අල්ලන්නේ. මේ මසුන් අපනයනය කරලා අපි රටට විශාල විදේශ විනිමයක් ලබා දෙනවා. ඇත්තටම දැන් මේ හිටපු ධීවර අමාත්‍යවරයා අපි ගැන හොඳාකාරව දන්නවා. මේ රැකියාව මෙයාකාරයෙන් කරන්න බැහැ කියලා. ඒ වගේම දැන් ඉන්න ධීවර අමාත්‍යවරයා ඇත්තටම මෙලෝ රහක් නෑ කිසිම වැඩක් නෑ . ගිය පාර තෙල් සහනාධාර ලබා දෙන්නනව කිය කිය හිටිය .එහෙම කියලා මග ඇරියා. වගේ අමාත්‍යවරු පත් කරලා කොහොමද මේ ක්ෂේත්‍රය ගොඩගන්නේ. තෙල් මිල වැඩ කෙරුවා විතරයි මේ අමාත්‍යවරයා ඉක්මනින්ම යාපනයට මාරු වුණා. මේ වගේ අමාත්‍යවරු ඉඳලා අපට මොකටද. ඇත්තටම අපිට කඩිනමින් ඉන්ධන සහනයක් අවශ්‍යයි. රුපියල් දෙසීයට වත් අඩුගානේ තෙල් ටික දුන්නොත් තමයි මේ රැකියාව නියමාකාරයට කරගෙන යන්න පුළුවන් .

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *