මගේ අත්සන ඇත්තයි, අස්ගිරි මහනායක හිමි කියයි – මහනුවර වාර්තාකරු

ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් යුතුව ජනපති,අගමැති හා පක්ෂ නායකයින් වෙත පසුගිය 20 වැනි දින යොමු කරන ලද ලිපියට අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඇති බවට පැතිර යන තොරතුරු අසත්‍ය බවත් උන්වහන්සේ ඊට සිය කැමැත්තෙන්ම අත්සන් ලබාදුන් බවත් නිවේදනයක් නිකුත් කරමින් අස්ගිරි මහනාහිමියන්ගේ  පෞද්ගලික ලේකම්හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති.

බදුලු මුතිංයගණ රජමහා විහාරස්ථානයේ භාරකාර,අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන නාහිමියන් අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ උපදෙස් මත නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

වර්තමානය වන විට අප රට තුළ පැන නැගී ඇති සමාජ,ආර්ථික හා දේශපාලනික අර්බුදය වහා සමනය කිරීම සඳහා අවශ්‍ය උපදේශයන් ලබාදෙමින් අතිපූජනීය ත්‍රෛනිකායික මහනායක මාහිමිපාණන් වහන්සේලාගේ අත්සනින් යුතුව පසුගිය අප්‍රේල් මස 20 වැනි දින ජනපති,අගමැති හා සියලු පක්ෂ නායකයින් වෙත යොමුකරන ලද ලිපියෙහි අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක හිමිපාණන්ගේ අත්සන යෙදීම සම්බන්ධව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විවිධ මත පළවෙමින් තිබේ.එමෙන්ම යම්  පුද්ගලයකු විසින් මේ පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවාවට පැමිණිල්ලක් සිදු කොට ඇති බවද වාර්තා වේ.

මාධ්‍ය තුළ සාකච්ඡා වන මෙම කාරණය සම්බන්ධව මේ වන තෙක් කිසිවකු අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ කාර්යාලයෙන් කිසිදු විමසීමක් සිදු කොට නොමැත. මෙහි සත්‍ය අසත්‍යතාව හරිහැටි අවධාරණය කොට ගැනීමෙන් තොරව මෙවැනි කරුණු සමාජගත කිරීම බරපතල වරදක් වනවා සේම එය භික්ෂු සමාජය තුළ මෙන්ම ගිහි සමාජය තුළ ද අනවශ්‍ය සැක සංකා ඇති වීමට ද හේතු වන්නකි.

ඉහත සඳහන් ලේඛනය උභය මහා විහාරයන්හි අතිපූජ්‍ය මහනායක මාහිමිපාණන් වහන්සේලාගේඋපදෙස් හා අනුශාසනා මත  උභය මහා  විහාරිය  කාරක සංඝ සභාවන්හි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක  හිමිපාණන් වහන්සේලාගේ ද පූර්ණ එකඟතාවෙන් පසුව ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් නිකුත් කරන්නට යෙදුණු බවත් මෙයින් දන්වා සිටිනු කැමැත්තෙමි.තවද අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහනායක මාහිමිපාණන් වහන්සේගේ අත්සන  සිය කැමැත්තෙන්ම ලබාදුන් බව උන්වහන්සේගේ උපදෙස් මත නිවේදනය කොට සිටිමි.
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *