මහනුවරත් ස්වාධීන වෙයි – මහනුවර වාර්තාකරු

මහනුවර මහ නගර සභාවේ  ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ  හා එක්සත් ජාතික පක්ෂයේ  මන්ත්‍රීවරු සිව් දෙනෙකු අද, 28 දින ස්වාධීන වූහ.
නගර සභාවේ මාසික රැස්වීම පැවැති අවස්ථාවේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ආනන්ද විජේරත්න,ජනක ගාමීණි රත්න යන මන්ත්‍රීවරු සහ සමුද්‍ර දයානන්ද  මන්ත්‍රීවරිය මෙලෙස ස්වාධීනවූ අතර එජාපය නියෝජනය කරන අනෝමා මඩුවන්වෙල ඇල්ලේවල මන්ත්‍රීවරියද විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් ස්වාධීන වන බව ප්‍රකාශ කළාය.

නගර සභාවේ මාසික රැස්වීම නගරාධිපති කේසර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරු ගණන 41 කි. එම මන්ත්‍රී ධූර එජාපයට  19 ක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට  16 ක් ශ්‍රීලංකා නිදහස් පක්ෂයට තුනක් ජනතා විමුක්ති පෙරමුණට දෙකක් හා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණට එකක් ලෙස බෙදී ගොස් තිබේ.
මේ අනුව සභාවේ නව සංයුතිය එජාපයට 18 ක් හා පොදුජන පෙරමුණට 13 ලෙස අඩුවනු ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී සමුද්‍රා දයානන්ද මහත්මිය මෙදින සභාවට පැමිණ නොසිටි අතර ඇය ස්වාධීන වන බවට ඉදිරිපත් කළ ලිපිය ජනක ගාමිණි රත්න මන්ත්‍රීවරයා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

ඉහළ යන ජීවන වියදම පාලනය කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු වැඩපිළිළෙක් නොමැති බවත් මේ නිසා ජනතාව අද වීදි බැස තිබෙන බවත් පැවසූ ස්වාධීන වූ මන්ත්‍රීවරු කඩිනමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු බව පැවසූහ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *