විපක්ෂ නායකගේ දැඩි ස්ථාවරය මොකද්ද – මහනුවර වාර්තාකරු

කිසිදු අවස්ථාවක ජනවරමක් නොමැතිව සමගි ජනබලවේගය හෝ සමඟි සන්ධානය ආණ්ඩු කරණයට එක් නොවන බවත් අන්තර්කාලීන ආණ්ඩු පිහිටුවා ඊළඟ රංගනයේ කොටස්කරුවන් වෙනවාට වඩා දේශපාලනයෙන් විශ්‍රාම යෑම සැප බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පක්ෂයේ ප්‍රතිපත්තිය මෙය බවත් එම ප්‍රතිපත්තිය සමඟ ඉන්නවාද නැද්ද කියන කාරණය සම්බන්ධව ඒ ඒ පුද්ගලයින්ට තීන්දු කළ හැකි බවත් ඒ මහතා කීය.
සමගි ජන බලවේගය මගින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන යෝජනාවලියේ පිටපතක් අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ට පිළිගැන්වීමෙන් අනතුරුව ඊයේ (26) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය නිර්මාණය වුණේ කොහොමද කියලා අපි බලන්න ඕන.හැට නව ලක්ෂයක් වූ ජනතාවගේ කැමැත්තෙන් ජනපතිවරයෙක් පත්වුණා. හැට අට ලක්ෂයක් දෙනා 2020 මහ මැතිවරණයේදී 140 කට වැඩි මන්ත්‍රී සංඛ්‍යාක් මේ ආණ්ඩුවට ලබා දුන්නා.ඉන්පසු සුපුරුදු පරිදි වරදාන,ප්‍රතිලාභ හා වරප්‍රසාද වලට යටවූ කණ්ඩායමක් නිර්මාණය කරගෙන ඔවුන්ගේ සහයෙන් සුපුරුදු ලෙස තුනෙන් දෙකක සුපිරි බලයක් ලබා ගත්තා.අපට ජනවරම තිබෙන්නේ විපක්ෂයේ කාර්යභාරය කරන්නයි.කිසිම අවස්ථාවක ජනවරමක් නැතුව සමගි ජනබලවේගය හෝ සමඟි සන්ධානය ආණ්ඩු කරණයට යන්නේ නැහැ.මේක දේශපාලන සංගීත පුටු තරඟයක් නොවෙයි.ඔයා මගේ ඇඳුම අඳින්න මම ඔයාගේ ඇඳුම අඳින්නම්.ඔයා මගේ තනතුර ගන්න මම ඔයාගේ තනතුර ගන්න.අහවලා ජනපති වෙන්න මම අගමැති වෙන්නම්. මෙයාලා තමයි ඇමැතිවරු වෙන්නේ කියලා ආණ්ඩු පිහිටුවන්න අපි සූදානම් නැහැ.පාර්ලිමේන්ත්ව නියෝජනය කරන 225 දෙනා සම්පූර්ණයෙන්ම අපේ රටේ ජනතාව අමතක සිදුකරන වැඩපිළිවෙළක් මේක.විශ්වාසභාංගයක්,දෝෂාභියෝගක් කියන්නේ එකක්.ආණ්ඩු බිහිකරනවා කියන්නේ තවත් එකක්.තරුණ කොටස්,සිවිල් සමාජයේ පිරිස්, විඩිහිටි ජනතාව ගාලු මුවදොර හා රටේ බොහෝ ප්‍රදේශවලට රැස්වෙලා කියන්නේ ජනපති,අගමැති,ආණ්ඩුව ඉවත්වෙන්න ඕන කියලයි.ඔවුන් කියනවා හොරු අල්ලන්න කියලා.හොරාකාපු සල්ලි නැවත ගන්න කියනවා. මේ ඇත්තෝ එක්ක ආණ්ඩු කරන්න ගිහින් ඔය දේවල් කරන්න පුළුවන්ද?.මොනම ආකාරයකින්වත් මහජනතාව ගාලු මුවදොර ජන අරගලයට ද්‍රෝහි වන්නේ නැහැ.තිරසර අදිටනින් අපි සිටිනවා.එයින් බැහැර ගමනක් නැහැ.වගකීම් බාර ගන්න සූදානම්.නමුත් මන්ත්‍රී මණ්ඩල ඇතුළේ කරන සූදුවලින් මේක කරන්න අපි සූදානම් නැහැ.ඩීල් වලින් නොව මහජන වරමින් අපි රට බාරගන්න සූදානම්.ජනතාවට ප්‍රශ්න තිබෙනවා කියලා ඇමැතිවරු ඩීල් දැමීම හරිද?.අන්තර්කාලීන ආණ්ඩු වලින් හොරු අල්ලන්න පුළුවන්ද?.අන්තර්කාලීන ආණ්ඩුවකින් වෙන්නේ හොරු නොවන අයත් හොරු වීමයි.

අපේ පක්ෂයේ භාෂණයේ නිදහස තිබෙනවා.මේක එජාපය නොවෙයි.තරවටු කරලා ඇග බැඳලා හඬ නිහඬ කරන්න අපි සූදානම් නැහැ.පක්ෂයේ ප්‍රතිපත්තිය මේකයි.ඒකත් එක්ක ඉන්න ඕන.පක්ෂයේ ප්‍රතිපත්තිය සමග ඉන්නවාද නැද්ද කියන එක සම්බන්ධව ඒ ඒ පුද්ගලයින්ට තීන්දු තීරණ ගත හැකියි.අන්තර්කාලීන ආණ්ඩු පිහිටුවලා ඊළඟ රංගනයේ කොටස්කරුවන් වෙනවාට වඩා දේශපාලනයෙන් විශ්‍රාම යෑම සැපයි.මම මේ වචනය මොනම ආකාරයටත් වෙනස් කරන්නේ නැහැ.කොටසක් අත්සන් කරනවා ජනපති අස්වෙන්න ඕන කියලා.තවත් කොටසක් අත්සන් ගන්නවා අගමැති අයින් වෙන්න ඕන කියලා.ඒ අතර ජනතාව කියනවා දෙන්නටම ඉවත් වෙන්න කියලා.අත්සන් සූදුවට කප්පම් දේශපාලනයට සම්බන්ධවෙන් අපිට බැහැ. සජිත් ප්‍රේමදාස කිව්වොත් කිව්වා.වෙනස් කරන්නේ නැහැ.වෙනස් වෙන්න ඕන අයට ඒ සඳහා අවස්ථාව තිබෙනවා.අවසානයේ ජනතා අධිකරණය හමුවට යන්න වෙන බව කවුරුත් සිහියේ තබා ගැනීම වැදගත්.ගාලුමුවදොර දැවැන්ත මිනිස් බලකාය දියත් කර තිබෙන ජනඅරගලය තුට්ටු දෙකට වෙන්දේසි කරන්න මම සූදානම් නැහැ.
අන්තර්කාලීන ආණ්ඩුවක් හැදුනා කියලා ගෑස්,ඉන්ධන,කිරිපිටි පෝලීම් නැති වෙනවාද?.මේ රටේ අන්ධාකාරය නැති වෙනවාද?.මේවා සියල්ල අවස්ථාවාදී දේශපාලන කතා.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *