යතුරු පැදි සොරකමේ ගිය යතුරු පැදි ධාවන සුරයා – මහනුවර වාර්තාකරු

යතුරු පැදි සොරකම් කර ඉතා අඩුමිලට ඒවා විකිණීම හා උකස් තැබීම සිදුකළ බව කියන මත්ද්‍රව්‍යය භාවිතයට දැඩිව ඇබ්බැහිවූ යතුරු පැදි ධාවන ශූරයෙකු ඔහු විසින් සොරකම් කරන ලද යතුරු පැදි 06 ක් සමඟ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් පසුගිය 23 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.
රාගම ප්‍රදේශයේ ඉතා ධනවත් පවුලක සාමජිකයෙකු වන විසිහත් හැවිරිදි සැකකරු දක්ෂ යතුරු පැදි ධාවකයෙකු බවත් මත්කුඩු භාවිතයට ඇබ්බැහි වීමෙන් පසු ඔහු තමන් ධාවන තරඟ සඳහා පාවිච්චි කළ යතුරු පැදිය මුලින් විකුණා පසුව යතුරු පැදි සොරකම් කර අළෙවි කිරීමට පෙළඹී තිබෙන බවත් පොලීසිය පවසයි.
යතුරු පැදි කාර්මිකයෙකුද වන සැකකරු ප්‍රධාන මර්ගවල ගාල්කර තිබෙන යතුරු පැදි සොරාගෙන ගොස් ඉතා අඩු මිලට අළෙවි කිරීම හෝ උකස් තැබීම සිදුකරන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
රුපියල් ලක්ෂ 05 ක පමණ වටිනාකමින් යුත් යතුරු පැදි මොහු රුපියල් ලක්ෂයක් පමණ මුදලකට අළෙවි කර තිබේ. එලෙස විකුණා හා උකස්කර තිබූ යතුරු පැදි හයක් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසු පොලීසිය සොයාගෙන ඇත.
මහනුවර නගරයේ යතුරුපැදි කිහිපයක් සොරාගෙන යෑමේ සිදුවීම් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලින් පසු පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.තවත් යතුරු පැදි ගණනාවක් සැකකරු විසින් සොරකම් කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඒවා සෙවීම සඳහා පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක, සහකාර පොලිස් අධිකාරි අංගම්මන, මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජය සේනානායක මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.