ජනතා බලය පමණයි තිබෙන්නේ හිටපු අමාත්‍ය කෙහෙළිය කියයි – මහනුවර වාර්තාකරු

ජනතාව විසින් පාර්ලිමේන්තුවට පත්කර එවා තිබෙන පිරිස හැර වෙනත් කණ්ඩායමකට බලය ලබාදීමේ ක්‍රමවේදයක් නොමැති බවත් එවැනි යාන්ත්‍රණයක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස ගාලුමුවදොරට රැස්ව උද්ඝෝෂණය කරන පිරිසට තමන් යෝජනා කරන් බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ආණ්ඩුවට බහුතරය නොමැති බව විපක්ෂය පාර්ලිමේන්තුවේදී පෙන්නුවහොත් ඔවුන්ට බලය දී ඉවත් වීම සම්බන්ධව කිසිදු ගැටලුවක් නොමැති බවද ඒ මහතා කීය.

මහනුවරදී  (17)  වැනි  දින  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී හිටපු ඇමැතිවරයා මෙසේද කීවේය.
ගාලුමුවදොරට රැස්ව සිටින පිරිස ගෝඨා ගෝ හෝම් කියන ගමන් පාර්ලිමේන්තුවේ 225 ටම යන්න කියනවා.මේ ප්‍රකාශයේ අර්ථය මොකක්ද කියන එක පිළිබඳව ප්‍රෙහෙලිකාවක් තිබෙනවා. ජනතාව පත්කළ මන්ත්‍රීවරු 225 ගියාම කවුද ඊළඟට පත්වෙන්නේ. නැවත රට ආරාජික වෙන්න දෙන්න බැහැ. ගහලා මරලා පාලකයින් එළවපු රටවල් අද පත්ව තිබෙන තත්ත්වය අපි අමතක කරන්න හොඳ නැහැ. ඉරාකය,ඉරානය,සිරියාව,ලිබියාව,ලෙබනනය කියන රටවල් වලට වෙච්ච දේ ගැන අවබෝධයෙන් අපි තීන්දු තීරණ ගන්න ඕන.අපි කවුරුත් රටට ආදරය කරන මිනිස්සු. රට බංකොලොත් කරන්න, රටේ සාරය උරා බොන්න කවුරුවත් කටයුතු කරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. කවුරු වුණත් කරන විප්ලවය අර්ථවත් වෙන්න ඕන.නැත්නම් එහි ප්‍රතිපලය ඉතා භනායක විය හැකියි.

පාර්ලිමේන්තුවේ 225 ඉවත් වෙලා අපි ඊළඟට රටේ පාලනය බාරදෙන්නේ කාටද කියන ප්‍රශ්නය තිබෙනවා.එහෙම බාරදෙන යාන්ත්‍රණය කුමක්ද කියලා මේ යෝජනා ඉදිරිපත් කරන අයගෙන් මම අහනවා. මේ කියන විදිහට විපක්ෂයට රට බාර දෙන්නත් බැහැ. මොකද මේ අය කියන්නේ 225 අයින් වෙන්න ඕන කියලයි.ගොල්ෆේස් එකේ එකතු වෙලා ඉන්න පිරිස අතර බුද්ධිමතුන් ඉන්න බව කියනවා.ඒ අයට රට බාර දෙන්න යෝජනා කරනවා.එලෙස රටක පාලනය බාරදීමේ ක්‍රමවේදයක් ලෝක දේශපාලනයේ ඉතිහාසය තුළ මා දැක නැහැ. අදාළ ක්‍රමවේදය පැකේජයක් ලෙස ඉදිරිපත් කළාත් අපි සලකා බලනවා.මේවගේ එල්ලිලා ඉන්න අපිට අවශ්‍යතාවක් නැහැ.දේශපාලනය හැර කරන්න විකල්ප දේවල් ඕන තරම් අපිට තිබෙනවා.රටට යම් සේවයක් කරන්න දේශපාලනයේ නිරත වෙන්න හිතුවා. ඒ සම්බන්ධව නොයෙක් කැපකිරීම් කරලා තියෙනවා.

කොවිඩ් සමඟ අපේ ප්‍රධාන ආාදයම් මාර්ග ගණනාවක් ඇහිරුණු බව අපි හැමෝම දන්නවා. සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 05 ක් විතර අපිට වාර්ෂිකව ලැබෙනවා.විදේශ ප්‍රේෂණ ලෙස වසරකට ඩොලර් බිලියන 07 ක් පමණ රටට එනවා.මේ සියලු ක්ෂේත්‍ර ඔස්සේ වසරකට අපිට ලැබෙන ඩොලර් බිලයන 20 ක විතර ආදායමෙන් 70% ක් විතර අහිමි වුණා. කොවිඩ් එක්ක රට කිහිපවතාවක් වැසුවා.වැහුවම අරින්න කිව්වා.ඇරියම වහන්න කිව්වා.වසංගතය පාලනය කරන්න අපි මූලිකත්වය දුන්නා.මේවා අමතක කරන්න හොඳ නැහැ.
ගෑස්,විදුලිය,ඉන්ධන සම්බන්ධ අර්බුදයක් ආවා.මේ නිසා ජනතාව විශාල පීඩනයකට පත්වුණා.මේකට අපි සමාව අයදිනවා.ඒක නිවැරදි කරන්න කටයුතු කරමින් ඉන්නවා.දැන් තිබෙන්නේ බෙදා හැරීම විධිමත් කිරීමයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *