නවක සිසුන් 10 000 කට මෙම වර්ෂයේදී විශ්ව විද්‍යාල ප්‍රවේශ අවස්ථා හිමිවන බව අධ්‍යාපන අමාත්‍යවරයා කියයි.- නිමල් කොළඹිස්ස – මහනුවර

උසස් පෙළ සමත් සිසුන් දසදහසක් සඳහා මෙම වර්ෂයේදී අමතර විශ්ව විද්‍යාල ප්‍රවේශ අවස්ථා හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

විශ්ව විද්‍යාල පද්ධතිය සඳහා නව පීඨ කිහිපයක් මෙම වර්ෂයේදී විවෘත කිරීමත් සමඟ නවක ප්‍රවේශ අවස්ථාව ලැබෙන බව අමාත්‍යවරයා, කීවේය.

මහා නායක හිමියන් බැහැ දැකීම සඳහා ඊයේ (30) මහනුවරට පැමිණි අධ්‍යාපන අමාත්‍යවරයා, අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සඳහා නව වෛද්‍ය පීඨයක් මෙම වර්ෂයේදී ස්ථාපිත කිරීමට තීරණය කොට ඇතැයි කී අමාත්‍යවරයා, වෛද්‍ය පීඨ සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ උපාධි  සඳහා නවකයන් සිය දෙනෙකුට අමතර අවස්ථා ලබා දෙන බවත් කීවේය.

මාර්ගගත තාක්ෂණය ඔස්සේ පංති පැවැත්වීම වෙනුවට පවතින සෞඛ්‍ය තත්ත්වය මත පීඨයෙන් පීඨය විවෘත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඉකුත් දිනවල ඇතැම් විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර තුළ සෞඛ්‍ය ගැටලුවක් මතුවීම හේතුවෙන් විශ්ව විද්‍යාල විවෘත කිරීම ප්‍රමාද වූ බව ද ඒ මහතා කීහ.

සමාගම් පනත යටතේ සමාගම් වශයෙන් ස්ථාපිත කර ඇති උපාධි ලබා දෙන පුද්ගලික ආයතනවල උපාධිලබාදීම ක්‍රමානුකූල කිරීමට ද  කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *