වික්ටෝරියා තුනම වැඩ – මහනුවර වාර්තාකරු

වික්ටෝරියා ජල විදුලි බලාගායේ විදුලි ටර්බයින් යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කරමින් ගිගාවොට් පැය 4.5-5.5 ත් අතර විදුලි උත්පාදනයක් සිදුකරන බව වික්ටෝරියා ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පවසයි.
ජලාශයේ ජල මට්ටම උපරිම ධාරිතාවකින් පවතින අවස්ථාවක සිදුකළ යුතු විදුලි උත්පාදනය මේ අවස්ථාවේ සිදු කරන බවත් පවතින වියළ කාලගුණික තත්ත්වයත් සමඟ වැඩි කාලයක් මේ ආකාරයෙන් විදුලිය නිපදවීමේ හැකියාවක් නොපවතින බවත් ඒ මහතා කීය.
මේවන විට රටේ පවතින විදුලි අර්බුදය හේතුවෙන් කප්පාදුවකින් තොරව ජනතාවට විදුලිය ලබාදීම සඳහා වික්ටෝරියා බලාගාරය මගින් උපරිම ධාරිතාවයෙන් යුතුව විදුලිය නිෂ්පාදනය කරන බවද හෙතෙම අවධාරණය කළේය.
පසුගිය නොවැම්බර් මස 29 වැනි දින සිට ජනවාරී මස 12 වැනි දින දක්වා මෙයා වොට් පැය 191.279 ක විදුලි උත්පාදනයක් වික්ටෝරියා ජල විදුලි බලාගාරය මගින් සිදුකර තිබෙන බවද ඒ මහතා කීය.

පසුගිය නොවැම්බර් මස අවසන් සතියේදී ඝණ මීටර් මිලියන 722 ක උපරිම මට්ටමේ තිබු ජලාශයේ ජල ධාරිතාව මේවන විට ඝණ මීටර් මිලියන 467 ක් දක්වා පහත වැටී තිබෙන බවද ඇහැලපිටිය මහතා පැවසුවේය.
කැනියොන් විදුලි බලාගාරයට ජලය රැගෙන යන නළ පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම බලාගාරයේ මෙගා වොට් පැය 75ක විදුලි උත්පාදනය දින පහක් තිස්සේ සිදු නොකරන නොකෙරෙයි. ලක්ෂපාන,නව ලක්ෂපාන ,පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදු කරන බව බලාගාර භාර ඉංජිනේරුවරු පවසති.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට මෙම දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතී.
කාසල්රි ජලාශයේ උපරිම ජල ධාරිතාව අඩි 155 ක් වන අතර පෙරේදා (13) වන විට එය අඩි 144.2 දක්වා පහල බැස තිබිණි.
මවුස්සාකැලේ ජලාශයේ උපරිම ජල ධාරිතාව අඩි 120 කි. එය පෙරේදා (13) වන විට පැවතියේ අඩි 85.9 අගයකය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *