මදුරු කීටයින් සොයා මෙහෙයුම් කරන රොමා සහ ජොනී – මහනුවර වාර්තාකරු

නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීම සඳහා පසුබිම සකසන්නට අති බහුතරයක් වූ පොලිස් නිලධාරීන් අවංකව කැපවත්දී සුළු පිරිසක් ධනය හා බලය ඉදිරියේ නීතිය අවනීතිය කරමින් යුක්තිය හා සාධාරණත්වය පාගා පොඩි පට්ටම් කරන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු.වසර 155 ක ඉතිහාසයක් ඇති පොලිස් දෙපාර්තුමේන්තුවට කළු පැල්ලම් එක්කරන මේ සුළු පිරිස නිසා පොලීසිය බල්ලට ගොස් ඇතැයි පවසන්නට ජනතාව පෙළෙඹුණු අවස්ථා කොතෙකුත් තිබේ.එහෙත් පොලීසියේ සිටින සැබෑ බල්ලෝ කිසිවිටෙකත් ධනය,බලය ඉදිරියේ රාජකාරිය පාවා දෙන්නෝ නොවෙති.මෙරටට නිදහස් හිමිවීමත් සමඟ ආරම්භ කළ පොලිස් නිල සුනඛ අංශයට එක්ව ගෙවුණු 72 වසරක කාලය තුළ දිවිහිමියෙන් රාජකාරී කළ දහස් ගණනක් වන සුනඛයින් පොලිස් දෙපාර්තුමේන්තුවට ගෞවරයක් හා ආලෝකයක් ලබාදුන් බව නොරහසකි.
අපරාධ පරීක්ෂණය,මත්ද්‍රව්‍ය වැටලීම්,පුපුරණ ද්‍රව්‍ය හා අවි ආයුධ සොයා ගැනීම මෙන්ම විශේෂ ආරක්ෂක රාජකාරී සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට නිල සුනඛයින් ගෙන් හිමිවන්නේ අමිල මෙහෙවරකි.කකුල් හතරේ රහස් පරීක්ෂකයන් ලෙස හැඳින්වීමට තරම් ඔවුන් රාජකාරියේ දක්ෂයෝය.අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවන නායයාම් සහ ගංවතුර නිසා අතුරුදන් වූවන් සොයා ගොස් ඔවුන් මුදාගැනීමේ ක්‍රියාන්විතයන්ට පවා යොදා ගන්නා පොලිස් නිල සුනඛයින් දැන් අලුත්ම වැඩකට හෙමුකර තිබේ.ඒ මදුරු කීටයන් සෙවීමටය.අපරාධ පරීක්ෂණ රාජකාරී වල වසර හතරක පමණ කාලයක් යෙදී සිටි රොමා සහ ජොනී සහෝදරයින් මේ දිනවල ඒ සඳහා පුහුණුව ලබමින් සිටින්නේ මහනුවර අස්ගිරියේ පිහිටි පොලිස් නිල සුනඛ කොට්ඨාසයේය.මෙරට උපත ලැබ ඇති මව මව සහ පියා පොලිස් නිල සුනඛ අංශයට ගෙනවිත් තිබෙන්නේ නෙදර්ලන්තයෙනි.
මදුරු කීටයන් හඳුනා ගැනීම සඳහා පොලිස් නිල සුනඛයින් පුහුණු කරනු ලබන්නේ මෙරට ප්‍රථම වතාවට වන අතර ඒ සම්බන්ධව පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා මෙසේ පැවසුවේය.පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ අදහසකට අනුව තමයි මේ සතුන් මදුරු කීටයන් ඉන්නා ස්ථාන හඳුනා ගැනීමට හැකි ලෙස පුහුණු කිරීම ආරම්භ කළේ.රොමා සහ ජොනී හොඳට ඉව තියෙන සතුන්.අපරාධ පරීක්ෂණ කටයුතු වලදී ඔවුන් දෙදෙනා සුවිශේෂි දක්ෂතා දක්වා තිබෙනවා.මේ නිසා අලුතින් ආරම්භ කළ වැඩසටහනට මේ දෙන්නා තෝරා ගත්තා.නිල සුනඛයින් මගින් කොවිඩ්-19 ආසාදිතයින් හඳුනා ගැනීමට ඇති හැකියාව සම්බන්ධව ලෝකයේ පරීක්ෂණ සිදු කෙරෙනවා.ඒවායින් ඉතා සාර්ථක ප්‍රතිපල ලැබී තිබෙනවා.ඩෙංගු උවදුර නිසා වාර්ෂිකව විශාල පිරිසක් මරණයට පත්වෙනවා.ගොඩක් වෙලාවට මදුරු කීටයන් ඉන්නා තැන් හඳුනා ගැනීමට අපහසුයි.රොමාට සහ ජෙනීට මදුරු කීටයන් ඉන්නා තැනක් පහසුවෙන් සොයා ගන්න පුළුවන්.පරීක්ෂණ නළ 10 කට පමණ ජලය පුරවලා ඒවායින් එකකට පමණක් මදුරු කීටයන් දාලා නළ සියල්ලම පොළොව මට්ටමට වල දැමුවම මේ දෙන්නා මදුරු කීටයන් ඉන්න නළය හරියටම සොයා ගන්නවා.
දැනට පුහුණුව සිදුකරන්නේ පොලිස් නිල සුනඛ කොට්ඨාස භූමියේයි.ඉදිරියේදී ගෙවතු වලට ගෙන ගොස් ටයර්,පොල්කටු,වැහි පිහිලි,මල් පෝච්චි වගේ තැන්වල ඉන්න මදුරු කීටයන් සොයා ගැනීමේ වැඩසටහනක් දියත් කරනවා.මදුරු කීටයන් හඳුනා ගැනීම තමයි මේ සතුන් කරන්නේ.ඒ කීටයින් ඩෙංගුද නැද්ද කියන එක ලැබ් එකකින් පරීක්ෂා කරලා දැනගන්න ඕන.අනිත් කාරනය ලංකාව පුරා තිබෙන අවශ්‍යතාව සපුරන්න හැකියාවක් අපිට නැහැ.මේ ඔස්සේ සෞඛ්‍ය අංශ වලට යම් සහයක් ලබාදීම තමයි අපේ අරමුණ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කොලුගල මහතා මෙසේ කීය.ඇස නොගැටෙන තැන්වල ඉන්න මදුරු කීටයෝ සුනඛයින්ගේ ඉව ආධාරයෙන් සොයා ගැනීම තමයි අරමුණ.සමහර කාණු අස්සේ මදුරු කීටයෝ ඉන්නවා. අපිට බලලා කියන්න බැරි වුණාට බල්ලට පුළුවන් ඉවෙන් ඒ තැන් හොයාගන්න.මේක තාම මූලීක අදියරේ තියෙන්නේ.උප පොලිස් පරීක්ෂක ජයරත්නගේ සහ පොලිස් සැරයන් 66022 සුගත් යන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පොලිස් කොස්තාපල් 71136 මොරේමඩ විසින් නිල සුනඛ ජොනී ත් පොලිස් කොස්තාපල් 71032 දිනේෂ් විසින් රොමා ත් මෙහෙයවනවා.මූලික වැඩ ආරම්භ කරලා දැන් මස පහකට වැඩියි.ඒවා සම්පූර්ණ කරගෙන පුහුණුව පටන් ගත්තේ ජූනි මාසේ.මුලින්ම මදුරු කීටයින්ගේ සුවඳ දීලා ඒකට හුරු කළා.මාස දෙකක් වගේ කාලයකදී රොමා සහ ජොනී මදුරු කීටයින් ඉන්නා තැන් හඳුනා ගන්න මට්ටමට ආවා.
පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කුලසේකර මහතා මෙසේ ප්‍රකාශ කළේය..පොලිස් නිල සුනඛ කොට්ඨාසය සතුව නිල සුනඛයින් 215 දෙනෙකු පමණ සිටිනවා.මේ අය දිවයින පුරා පිහිටි නිල සුනඛ ඒකක 55 කට අනුයුක්තව මේ අය රාජකාරී වල නිරතව සිටිනවා.පොලිස්පතිතුමාගේ සංකල්පයකට අනුව රොමා සහ ජොනී අපි පුහුණු කළේ අලුත්ම රාජකාරියකට.ඉතා ඉක්මනින් තමන්ගේ කාර්යය කුමක්ද කියලා මේ දෙන්නා තේරුම් ගත්තා.නිල සුනඛ අංශයේ පශු වෛද්‍යවරයාගේද අධීක්ෂණය යටතේ දෛනිකව මේ අය පුහුණු වීම් කරනවා.මිනිස් ඇසට වැලි ගසා පළා යන බොහෝ අපරාධකරුවන්ට නිල සුනඛයින්ගේ ඉවෙන් මිදී යන්න අපහසුයි.අපේ ඇස් වලට නොගැටෙන තැන්වල මදුරු කීටයින් මොන තරම් ඉන්නවාද?.ඒ අය සොයා ගැනීම තමයි මේ පුහුණුවේ අරමුණ.