කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක ප්‍රදර්ශනය කැන්ඩි සිටි සෙන්ටර් – නදීක දයා බණ්ඩාර – මහනුවර

මෙම වර්ෂයේ දෙවන කාර්තුව වන විට දීපව්‍යාප්ත නව ආර්ථික පුනර්ජීවන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සමෘද්ධි,  ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ලෝක ආර්ථික අර්බුදයක් පැවැතිය ද දේශීය නිෂ්පාදන දිරි ගන්වමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ  ඊයේ (08) මහනුවරදී ආරම්භ වුණු මධ්‍යම හා ඌව පළාත් වෙළඳ සංසද සහ වෙළඳ පොල ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා  කැන්ඩි සිටි සෙන්ටර්හිදී මෙම ප්‍රදර්ශනය විවෘත කෙරිණී.

ග්‍රාමීය ආර්ථික සංවර්ධනය වෙනුවෙන් මෙවර රුපියල් බිලියන 110 කට අධික මුදලක්  රජය වෙන්කර  ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා, ඉන් සියයට 40ක ප්‍රතිශතයක් කුඩා හා මධ්‍යම පරිමාණ කාර්මාන්ත නගා සිටුවීම සඳහා වෙන්වන බව ප්‍රකාශ කළේය.

මෙරට දළ ජාතික  නිෂ්පාදනයේ සියයට පනස්දෙකක දායකත්වයක් දරන කුඩා හා මධ්‍යම පරිමාණ නිෂ්දකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කොට සමස්ථ ආර්ථීකය සවිබල ගැන්වීම මෙම ආර්ථික පුනර්ජීවන වැඩසටහනේ අපේක්ෂාව යැයි ද ඒ මහතා සඳහන් කළේය.

ඉදිරි සතියේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක ණය වාරිකයක් ද ජූනි මාසයේදී ඩොලර් බිලියනයක් ද ගෙවීමට ඇතැයි කී ඒ මහතා එවන් තත්ත්වයක් යටතේ වුවද දේශීය ආර්ථික ශක්තිමත් කිරීම රජයේ අපේක්ෂාව යැයි ප්‍රකාශ කළේය. ණය වාරික ගෙවීම රජය අසීරු කටයුත්තක් නොවන බව පෙන්වා  දුන් රාජ්‍ය අමාත්‍යවරයා, ආර්ථික අර්බුදය ක්‍රමානුකූලව වර්ෂ කිහිපයක සිට උද්ගතවූ තත්ත්වයක් යැයි ද කීවේය.

වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට අහිමිවූ  විදේශ විනිමය ලැබෙන මාර්ග යළි සකස් කර ගැනීම සඳහා මිත්‍රශීලී රටවල සහයෝගය ලබාගැනීමට සාකච්ඡා කරන බව ද ප්‍රකාශ කළේය.

ලෝක බංකුව, ආසියානු සංවර්ධන අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජයිකා වැනි ආයතන සමඟ ඉතාම මිත්‍රශිලීව කටයුතු කරමින් ආර්ථික සංවර්ධනයට අවශ්‍ය උපකාර ලබා ගන්නා බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *