කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා ලබා නොගත් අයට පොදු ස්ථානවලට පිවිසීමට ඉඩක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යවරයා කියයි.— නදීක දයා බණ්ඩාර

 

කොරෝනා මර්ධන ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම තුළින් ශ්‍රී ලංකාව ලෝකයේ සිව්වන ස්ථානයට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. රටක ජනගහණය සහ එන්නත්කරණ ප්‍රතිශතය අනුව ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්වූයේ ඉකුත් වර්ෂය අවසානයේ නිකුත් වූ නවතම වාර්තා අනුව යැයි අමාත්‍යවරයා කීවේය.

මහනුවර අනිවත්තේ දී  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා මිලියන් 14ක් මේ වන විට ඇණවුම් කර ඇතැයි ද කී අමාත්‍යවරයා එම එන්නත් ක්‍රමක්‍රමයෙන් ලැබෙමින් පවතින බව ද කීවේය.

එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයන් පොදු ස්ථානවලට ප්‍රවේශ කිරීම වැළැක්වීමේ යෝජිත තීරණය කඩිනමින් ක්‍රියාත්මක කරන බව කී ඒ මහතා ඒ සඳහා නීතිපති උපදෙස් ඉල්ලා ඇතැයි ද සඳහන් කළේය.

එන්නත් ලබා ගැනීම අනිවාර්යය කළ නොහැකි නමුත් එන්නත් ලබා නොගත් පිරිස් පොදු ස්ථානවලට ප්‍රවේශ කිරීම වැළැක්වීමේ නීතිමය ප්‍රතිපාදනයක් පවතී. නීතිපති උපදෙස් පරිදි එම ප්‍රතිපාදනය කඩිනමින් ක්‍රියාත්මක කරන බව කී ඒ මහතා එන්නත් කාඩ් පත රැගෙන ගමන් කිරීම වෙනුවට වඩාත් පහසු යෙදවුමක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද කීවේය.

වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු විදෙස් ආදායම සියයට විසිපහකට වඩා පහත බැස ඇතැයි පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා, ආර්ථිකය කළමණාකරණය කර ගැනීමට ඇති එකම විසඳුම රට වසා දැමීම නොවන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *