නෙතු අද්දර චමත්කාර සිත්තම් මවන වලවෙ නදී කොමළිය -සටහන රනුජ සිතුමික දම්සස් , ඡායාරූප ආකාශ් ඉරිඳු ප්‍රභාත්

Exif_JPEG_420

 

අහස් වියන සිප ගනිමින්, කැදලි කරා පියාඹන විහඟුන්ගේ සත්සර මුසුව, අපූර්ව රසයක් ජනිත කරමින් තිබේ. දෑල දෙතෙර වන මලින් සහ රෝස පැහැ පෙතිවලින් ගහණ කිරල මලින් අලංකෘත වී ඇත. නීල ගුවන් ගැබ පාව යන රන් කෙඳි ඉහිරුණු වලා කැටිති අපූර්ව චමත්කාරයක් මවමින්ය. උස් තුරු මුදුන් හි රැඳි පත්, මද සුළඟ හා වෙලී ගයන ලාලිත්‍ය ගීතයේ මිහිරියාව යාන්තමින් ඇසේ. සිහින් දිය රැලි නගමින්, සියුම් රිද්මයකට අනුව ගලා යන වලවේ ගං කොමළියගේ සිනා සපිරි හඬ ද මේ අතර පසෙකින් ඇසේ. බටහිර අහස මත, ලෝහිත පැහැය විහිදුවමින් බැබළෙන හිරු, ගිනි බෝලයක සිරි ගනිමින් ඇත. ඉන් පෙරී ආ ළා හිරු කිරණ, ගං දෑල දෙපස රැඳි තුරුලිය මත සැතපී, තව හෝරා දෙක තුනකින් අඳුර පතුරවන බවට ඉඟි කරමින් සිටී.

දිවා කාලය පුරාවටම අත්තටු විදාලමින් කෑම සොයා බෝ දුරක් ගිය කොකුන් රෑනක්, අර්ධ වෘත්තයක් ලෙසින් ගං කොමළියට උඩින්, නුබ කුස අරා පියාඹා ගියේ, ළැඟුම් ගන්නා තුරු නිවහන සොයා ගෙනය. එහෙත්, හිස් ගෙඩි පමණක් දිය මත තබා ගෙන, ගං දියේ කිමිදෙමින් හිඳිනා දියකාවුන් පොකුර, තවමත් නිවහන සොයා යෑමට අකමැති සේ ය.
බෝ දුරක් ගෙවා රත්නපුරය, ඇඹිලිපිටිය පසුකර නෝනාගමට පැමිණි අපි, අම්බලන්තොට රෝහල පාරේ වාදුරුප්පුව පහුකොට මේ තොටුපොළ වෙත පැමිණියේ, කුරුලු උයනක් බඳු වලවේ ගඟ අවට පරිසර පද්ධතිය නරඹනු රිසියෙනි.
සමනොළ කඳු මුදුනේ, ඉහළ මාලිබොඩ ප්‍රදේශයේ දී කුඩා දිය දහරක්‌ ලෙස ජනිත වන වලවේ ගඟ, සියලු බාධක මැදින් කිලෝමීටර් 138ක් දුර ගෙවා ගොඩවායෙන් සිඳු හා අතිනත ගනී. මේ ගං කොමළිය, ශ්‍රී ලංකාවේ පිහිටි, දිගින් හත්වැනි ස්‌ථානය ගන්නා ගංගාවය. මෙලෙස ගලා බසින මේ නදිය, උඩවලව ජලාශය නිර්මාණය කරයි. උඩවලව වනෝද්‍යානය දියෙන් පොහොණි කිරීමට ද දායක වේ. වේල්ල නිසා අවහිරයට ලක්‌ව, වලව වම් ඉවුර හා වලව දකුණු ඉවුර ලෙස ගොවි ජනපද රැසකට දියවර සපයයි. පසුව, ගොඩවායෙන් සයුර සිප ගන්නා ඇය, වරෙක සොඳුරු ලලනාවකි. තවත් වරෙක හැඩි දැඩි ගති පාන්නියකි.

“අපි එහෙනම් ගොඩවායට යමු.” තොටුපොළ කරා පැමිණි බෝට්ටුකරු අපට පැවසුවේය.
තැඹිලි පැහැති ආරක්ෂිත කබා පැලඳ ගත් අපි, එකා පසුපස එකා ලෙස පෙළ ගැසෙමින් හීන් සීරුවට බෝට්ටුවට නැඟුනෙමු. ඒ, රන්වන් පැහැ වැල්ලෙන් යුතු ගොඩවාය මුහුදු වෙරළ, වලවේ ගං මෝය මෙන්ම, සොඳුරු පරිසරයේ චමත්කාර දසුන් පෙළින් පෙළ නරඹනු රිසියෙනි. සියල්ලෝම දුරේක්ෂ දමා ගෙන, දසත නරඹන්නට වූහ.
බෝට්ටුවේ හඬ අවදි වූයේය. දිය කඳ මෑත් කරමින් හෙමින් සීරුවට එය ඇදී ගියේ, වලවේ ගඟ දෙපස කැටිව ඇති ශෝබමාන සිත්තම් රැසක් අප නෙත් අබිමුව රඳවමිනි. වරෙක, ගං දිය උඩින් පියාඹා යන කුරුලු කෙවිල්ලන්ගේ සොඳුරු රුව, කැමරා කාච මත සටහන් කර ගන්න බැරි වූ විට, අප සඟයන්ට දැනුණේ අප්‍රමාණ දුකකි. සමහර විටෙක හීයක වේගයෙන් ඇදෙන පක්ෂියකු, හඳුනා ගන්නට පවා අපට බැරි වූ අවස්ථා ද එමටය.
උස්ව වැඩුණු කිරල තුරු හිස් මත නැඟුණු සෙබඩ, මොණර කැළ, සතුට උහුලා ගත නොහැකිව ‘අර … අර’ යැයි කෑගසන අප සගයකුගේ හඬින් බියපත්ව පියාඹා ගියහ. බියකරු කිඹුලන් සිටින මේ නිල් දිය මත, හිමින් සීරුවේ ගමන් කරනා මේ බෝට්ටු සංචාරයේ දී, ජාතික වනෝද්‍යානයක සිරි නරඹන ඔබ, නිහඬතාව රැකිය යුත්තේ යම් සේ ද, ඒ ආකාරයටම මෙහි ද සැරිසැරිය යුතු බව ඒ මඟින් ඉඟි කරනු ඇත.
යෝගීවරයකු නිහඬව බවුන් වඩමින් සිය අභිප්‍රාය ජය ගන්නේ යම්සේ ද, මේ කුරුලු පාරාදීසයේ අපූර්වත්වය අත්විඳින ඔබ ද එපරිදිම ඉවසීමෙන් මේ ගමන යා යුතු ය. ගං ඉවුර මත සුසැදි කිරල ගස් සමූහයා, මලින් මෙන්ම පලින් ද බරය.

“කිරල මල්වල ලස්සන බලන්නකො. හරියට පිනිජම්බු මල් වගේ’’
අප එකකු කෑ ගැසුවේ කිරල මල් දැක සතුටින් පිනා යමිනි.
“කිරල කියන්නේ හරිම ගුණ පලතුරක්. කිරල බීම රසම රසයි. ඒත් කිරල ගෙඩිය කඩපු ගමන් බොන්න ඕන කියනවා. නැත්නම් පණුවො හැදෙනවලු.’’ ඒ කිරල පිළිබඳ අප සගයකුගේ අදහසකි. මේ කතාබස් අතරේ ගං දිය සිඹින කිරල අත්තක සැඟවී සිටි බටගොයකු වේගයෙන් පියාඹා ගියේ, අප නෙතු තුළ අපූර්ව සිතුවමක් මවමිනි.
ගං දෑල දෙපස පරිසර පද්ධතිය තුළ වැල් වර්ග, නුබ කුස සිදුරු කරන තරමට වැඩුණු ගහ කොළ, සාමාන්‍ය මට්ටමෙන් වැඩුණු ගස් මෙන්ම, කැරන්, මීවන වර්ග වැනි ශාක බොහෝසෙයින්ම දැක ගත හැකිය. වැඩෙන කිරල ගස් වසා ගෙන සිටින, දම් පැහැයෙන් බබළන ගෙඩි පුරවා ගත් වල් මිදි වැල් මත එල්ලී, එහි පල බුදින කුරුලු කෙවිලියන්ගේ ද අඩුවක් නැත. සයුරේමියා, ත්‍රිපෝලියා වැනි වැල් වර්ග ද මේ රුක් ගොමුව තුළ අප්‍රමාණව පැතිර තිබේ.

සමනොළ ගිරි හිස සිප හමන මද මුදු සුළඟේ වෙළී, සයුරු කුමරු සොයා ඇදෙන වලවේ ගං කොමළිය, ඔහු දකින රිසියෙන් ගලා බසී. වලවේ ගං මනාලිය සරසන්නට, දෙපස වැඩුණු තුරුලිය සමූහයා, නන් පැහැයෙන් බබළන, නෙක මලින් ඇය සරසති. ඒ අතර, දම් පැහැයෙන් යුතු ජපන් ජබර මල් ද, තද රෝස පැහැයෙන් යුතු කිරල මල් ද විරල නැත. තවත් තැනෙක ඡායා මාත්‍රයකින් පමණක් කහ පැහැයෙන් බබළන මල් යායක් දැකිය හැකිය. ඒ අතර කිරි ඉද්ද මල් පිපුණු ගස් පෙළක්, ඉද්ද ගැසුවාක් සේ ගං ඉවුරට එහායින් දිස් වන්න විය.
මද දුරක් යනවිට එහා ඉවුරේ වේළී ගිය, එනමුදු නුබ කුස සිඹින තරමටම උස් වූ කොට කිහිපයක් දිස් විය. එහි බෙන සාදා ගෙන සිටිනා ගිරවුන්, වරින් වර එළියට පැමිණ ඉගිලෙමින් ද, තවත් විටෙක ඔවුන්ගේ නිවහන වෙත ද යන ආකාරය අප සැමගේම සිත් ගත් දසුනක් බවට පත් විය. තුරු මත විවේක සුවයෙන් සිටින මෙන්ම, ගසින් ගසට පැන යමින් සිටින කළු වඳුරන් ද මේ පරිසරය තුළ බහුලය.

මද දුරක් ගිය අපි, නොනවත්වා කෑ ගසන වවුලන් පිරුණු උස් තුරු හිස් කිහිපයක් දුටිමු. මේ වවුල් විමානයේ සිටිනා වවුලන්, සිය දිනචර්යාවේ නිදිවර්ජිත කාලපරිච්ඡේදය ගත කිරීම සඳහා ලක ලැහැස්ති වන අවස්ථාව අප ඉදිරියේ එසේ මැවිනි. ඒ අතර කරවැල් කොකුන් ද මදින් මද නිලඹර සොයා ඉගිලුණේ, පුරුද්ද අත්හල නොහැකි පරිදිය.
“අතන අර වල් සූරිය ගස් කිහිපයක් තියෙන්නේ. දවාලට කිඹුල්ලු එතැනට වෙලා තමයි ඉන්නේ.’’ අප කැටුව ගිය බෝට්ටුකරු පැවසුවේය.
“මේ ගඟෙත් මිනී කන කිඹුල්ලු ඉන්නව ද?’’ අප සගයකු එසේ ඇසුවේ, ගත හී ගඩු නංවා ගනිමිනි.
පැය දෙකක් වැනි කාලයක් තුළ සංචාරය කළ අපට, ගං දියේ හෝ ගොඩබිමේ කිඹුලන් සිටිනු දැකිය නොහැකි විය. කුඹුක්, කුඹුරු, වල් බෙලි, සිංහල දෙල්, ලුණුමිදෙල්ල, කඩොල්, වල් සූරිය වැනි මෙකී නොකී ශාක වර්ග බොහෝ ප්‍රමාණයක් මේ ගං ඉවුර දෙපස පිහිටි බිමේ මෙන්ම, තැනින් තැන දර්ශනය වන කුඩා දූපත්වල ද දැකිය හැකිය.
ගං ඉවුරේ තැන් තැන්වල සිට දිය නාන මිනිසුන් ද බොහෝය. එපමණක් නොව; තැන් තැන්වල ඇති තොටුපොළවල නවතා තිබෙන ඔරු, බෝට්ටු ද අපගේ දර්ශනපථයට හසු විය. තවත් විටෙක දැක ගත හැක්කේ හම්බු පඳුරු අතර සිට මාළු බාන මිනිසෙකි. තවත් විටෙක මේ ගං දිය මත බෝට්ටු පදිමින් එගොඩ වීමට තතනන මිනිසෙකි. මේ සියලු දසුන් අතරේ ගං දියේ ගිලෙමින් ගත දාහය නිවා ගැනීමට තතනන මී හරකුන් පිරිසකි. තවත් විටෙක දැකිය හැක්කේ තොටුපොළ අසල ඔරු නවතා තැබීමට වෙහෙසෙන මිනිසුන්ය.

සර්ප පියා උකුස්සා, බමුණුපියා උකුස්සා, කුස ඇලි සයුරුපියා උකුස්සා වැනි උකුසු වර්ග කිහිපයක් ද, කරවැල් කොකා, මහ කොකා, කණ කොකා, පළා කොකා, කහබොර මැදි කොකා, කිරි කොකා, අළු කොකා, රෑ කොකා වැනි කොකුන් වර්ග ද, හිස කළු දෑකැත්තා, ගංගා ආශ්‍රිතව ගැවසෙන දියකාවුන් මෙන්ම, බටගොයා, කුරුලුගොයා, පිළිහුඩුවා, බස්සා, බකමූණා වැනි පක්ෂීන් ද මේ ජලාශ්‍රිත පරිසරය තුළ ගැවසෙන බව, අප හා පැමිණි බෝට්ටුකරු පැවසුවේය.
ගං ඉවුරේ සිට හෙමින් හෙමින් රැලි නංවන ගං දිය දිගේ ඇදී යන දම් පැහැයෙන් සහ ශ්වේත වර්ණයෙන් බබළන මලින් යුතු කංකුන් මෙන් ම, නොයෙකුත් පළා වර්ග ද, දිය මත මවන්නේ අපූර්ව දසුනකි.
කිලෝමීටර තුන හමාරක්, හතරක් පමණ ගෙවූ අපි ඈතින් දිස්වන ගොඩවාය මුහුදු වෙරළත්, ගං මෝයත් දුටිමු.
වලවේ ගඟ මුහුදට වැටෙන ගං මෝය 1960 දශකය වන තෙක්ම පැවැතී ඇත්තේ ගොඩවායේය. එහෙත් පසුව එම ගං මෝය වැසී, පට්ටිය ප්‍රදේශයේ ස්වාභාවිකවම ගං මෝය පිහිටියේය. එහෙත් සුනාමිය පැමිණීමෙන් පසුව නැවතත් වලවේ ගං මෝය ගොඩවායේ නිර්මාණය වූයේය. පැරැණි කල, මේ ස්ථානය මෙරට පිහිටි ප්‍රධාන නැව් තොටක් බව ද පැවසේ.
වලවේ ගං මෝය පිහිටි නිසා මෙන්ම, රූටයිල්, ඉල්මනයිට්, සර්කෝන් වැනි වටිනාකමින් වැඩි ඛනිජ වැලි නිධියක් පවතින නිසාත්, කැස්බෑවුන් සුලබ වෙරළ තීරයක් වීම නිසාත්, ගොඩවාය අතිශයින්ම වැදගත් ප්‍රදේශයකි. අප්‍රේල් සිට ජූනි මාසය දක්වා කාල පරාසය තුළ දාර කැස්බෑවන් මේ වෙරළ ආශ්‍රිතව තම වර්ගයා බෝ කරයි. ජෛව විවිධත්වයෙන් පිරිපුන් මේ භූමි ප්‍රදේශය, 2006 වසරේ මැයි මස 10 වැනි දින අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මෙරටට ආවේණික ජලජ පක්ෂීන් මෙන්ම සංචාරක කුරුල්ලන් ගෙන් බහුල මේ සදාහරිත තෙත් බිම, කඩොල් කැළය නිසා සොඳුරු බිමක් බවට පත්ව ඇත.

ගොඩවාය වෙරළ තීරයට සමීප වූ අපට දැක ගත හැකි වූයේ, ‍ගං මෝයට සමීපයේ දියබුං ගසනා මී හරකුන් රංචුවකි.
ගල් තලාවකින් යුතු ගං මෝය අසල බිම් පුදේශය අතිශයින්ම මනරම් දසුනකි. මංගල දිනයේ ඡායාරූප ගැනීමටත්, එහි පැමිණ සෙල්ෆි ගැනීමටත් බොහෝ දෙනා රුචියක් දක්වන්නේ මේ සුන්දරත්වය නිසාමය. රන් වැලි පලසේ මොහොතක් රැඳී සිටි අපි, මද අඳුර ගලමින් පැවැති නිසා ම නැවත පැමිණීම සඳහා බෝට්ටුවට නැඟුණෙමු.
පෙරට වඩා වේගයෙන් ධාවනය වූ බෝට්ටුවේ සිට නැවත අපි පැමිණෙන විට, සිය කැදලි කරා ගොස් නිදි සුව විඳින පක්ෂීන් බොහෝ පිරිසක් දුටිමු. එතැන් සිට වාදුරුප්පුව පට්ටිය වරාය තොටුපළ දෙසට ගිය අපි, රන්වන් පැහැයෙන් දිදුලන අහස් කුසේ අලංකාරය අත්වින්දෙමු.
වලව නදී පාරිසරික සංවිධානය සමඟ එක්ව මේ සංචාරයට එක්වූ අපි, වලව ගං කොමළියගේ දිය රැලි මත, ගං දෑලේ ඇති තුරු ලතා ඇඳි සිතුවම් නරඹමින් නැවතත් තොටුපොළ වෙත සේන්දු ‍වුණෙමු. ඒ, නෙතු අග සොඳුරු දසුන් මැවූ පරිසරයේ සුන්දරත්වය පිළිබඳ සිත තුළ අපූර්ව සිත්තම් රැසක් මවා ගනිමිනි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *