නව බස් ගාස්තු ක්‍රමයක් ? අමාත්‍ය දිලුම් කියයි – මහනුවර වාර්තාකරු

බස් රථ වල වාඩි නොවී ගමන් ගන්නා මගීන් ගෙන් අඩු මුදලක් අය කිරීම සඳහා වන නව බස් ගාස්තු ක්‍රමයක් අලුතින් හඳුන්වා දීමට සැළසුම් කර තිබෙන්නේ යැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ආසන ගණනට පමණක් මගීන් ගෙනා යාමේදී සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා ගාස්තු ඉහළ දැමීමක් කර තිබියදී ඇතැම් බස් රථ වල ආසන ගත නීතිය උල්ලංඝනය කරමින් මගීන් ප්‍රවාහනය කරන බවද ඒ මහතා කීය.
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ගාස්තු ඉහළ දැමීමක් කර තිබියදීත් දිගින් දිගටම ආසන ගත නීතිය උල්ලංඝනය කරමින් මගීන් රැගෙන යාම වැලැක්වීමට විවිධ පියවර ගත් නමුත් තාමත් එය නතර කිරීමට නොහැකි වී තිබෙන බවත් මේ නිසා හිටගෙන යන මගීන් ගෙන් සංශෝධනයට පෙර පැවැති ගාස්තු යටතේ මුදල් අය කිරීමට හැකි ලෙස නව ගාස්තු ක්‍රමයක් හඳුන්වා දෙන බවත් හෙතෙම අවධාරණය කළේය.
ආසන ගත නීති උල්ලංඝනය කරන සියලුම බස් රථ අත්අඩංගුවට ගන්න කියලා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවත් ඒ අනුව බොහෝ ප්‍රදේශ වල නීතිය ක්‍රියාත්මක වී තිබුණු බවත් අමුණුගම මහතා පැවසුවේය.
නමුත් ග්‍රාමීය මාර්ග වල මෙම නීතිය තද බල ලෙස උල්ලංඝනය කරන බවත් මෙය තව දුරටත් අඛන්ඩව පැවතුනහොත් ලබන සතියේදී අදාළ ගාස්තු සංශෝධනය ගෙන එන බවත් ඒ මහතා කීය.
පසුගිය ගාස්තු සංශෝධනය මගින් සැලකිය යුතු මිල වැඩි කිරීමක් බස් හිමියන්ට ලබා දුන් බවත් එසේ තිබියදී ආසන ගත නීති උල්ලංඝනය කරමින් මගීන් ප්‍රවාහනය කිරීම තුළින් මගීන්ට අසාධාරණයක් වන අතරම කොවිඩ් ව්‍යාප්ත වීමේ අවධානමක්ද මතුව තිබෙන බවත් ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.