දේශපාලනය කරන්න රටක් තිබිය යුතුයි . පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි – මහනුවර වාර්තාකරු

රජය මොන දේ කළත් විවේචනය කිරීමට විපක්ෂය බලා සිටියදී ආණ්ඩුව නියෝජනය කරන තවත් පිරිසක් රටේ මතුවන අර්බුද වලට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව පවසමින් නිදහස් වීමට උත්සහ කරන බවත් දේශපාලනය කිරීමට රටක් තිබිය යුතු බව මෙම දෙපාර්ශවයම තේරුම්ගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ කීහ.
රජය ගන්නා ජනප්‍රිය තීන්දු වලදී රජය සමඟ එකට හිට ගන්නා ඇතැම් පක්ෂ ජනප්‍රිය නොවන තීන්දු වලදී තමන්ගේ වගකීම පැහැර හරිමින් දේශාපලන වාසි ලබා ගැනීමට කටයුතු කරන බවද උන්වහන්සේ කීහ.
ලේඛකාධිකාරි හිමියෝ එසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට අස්ගිරි මහ විහාරයට ගිය අවස්ථාවේදීය.
එහිදී ධම්මානන්ද නාහිමියෝ මෙසේද ප්‍රකාශ කළහ.
සමාජ මාධ්‍ය වල හා වෙබ් අඩවි වල රජය විවේචනය කරමින් නොයෙකුත් දේ ප්‍රචාරනය වෙන බවක් පේන්න තිබෙනවා. තමන් කරන සේවාවන් රජය විසින් නිසි ලෙස ජනතාව අතරට ගෙන යනවාද කියන එක ප්‍රශ්නයක්. ජනතාව මේ සම්බන්ධයෙන් නිසි දැනුම්වත් වීමක් නැහැ. මේ නිසා රජයට එරෙහිව තිබෙන චෝදනා ටික ඒ විදිහටම ඉදිරියට යනවා. ප්‍රශ්න ඇතිවන අවස්ථාවලදී අපේ දේශපාලනයේ ඉන්න බොහෝ දෙනා බලය රදවා ගැනීම සඳහා අපි ඕවට සම්බන්ධ නැහැ කියලා පෙන්වමින් තමන් නිදහස් වෙන ස්වරූපයක් දකින්න ලැබෙනවා. දෙශපාලන අවශ්‍යතාව මත අවලාද නගමින් රජය විවේචනය කරනවා.මහජනතාවට රටට සිදුවෙමින් තිබෙන විපත්තිය ගැන අවධානයක් නැතුව මේ අය කතා කරන්නේ තමන්ගේ හා පක්ෂ වල මතවාද පමණයි. අද මාධ්‍ය මගින් නිරන්තරව සාකච්ඡා වෙන්නේ මේවායි.
බෞද්ධාගම පැත්තෙන් ගත්තොත් සඳහිරු සෑය ගොඩනැගුවා.දීඝාවාපිය මහ දාගැබ රජ කාලෙන් පස්සේ අද නැවත ගොඩනගමින් පවතනිවා.මුහුදු මහා විහාරයේ ලොකු ප්‍රශ්නයක් තිබුණා.යම් යම් පිරිස් වල බලපෑම් මත ඒක අපිට අහිමි වෙන්න තිබුණා.ඒ සියල්ල මේවන විට ජනාධිපතිතුමාගේ නැගෙනහිර පුරාවිද්‍යා බළකාය මගින් නිවැරදි කර තිබෙනවා. ඒ වගේම කූරගල විහාරස්ථානය දැවැන්ත නිර්මාණයක් ලෙස මේ වකවානුව තුළ බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස ඉතා කෙටි කාලයකදී ගොඩනැගිලා තිබෙනවා.නීලගිරි මහා සෑයේ ඉදි කිරීම් පටන් ගත්තා.බුද්ධාගම පැත්තෙන් වෙනම කවුරුත් කතා කරන්නේ නැහැ.මන්ත්‍රීවරු ඇමැතිවරු මේවා කියන්නේ නැහැ. රජයට නතරම චෝදනා එල්ල කරන්න පුළුවන් පැත්ත ගැන තමයි කතා කරන්නේ. ආණ්ඩුව නියෝජනය කරන අයත් එකිනෙකාට චෝදනා කරමින් ඉන්න එකයි.මේ ගැන ජනතාවට විශාල කළකිරීමක් තිබෙනවා.
පක්ෂ විපක්ෂ හැමෝටම දේශපාලනයේ යෙදෙන්න රටක් අවශ්‍යයයි.යහපත් චේතනාවෙන් ජනතාව ආරක්ෂා කරන්න ඕන කියන හැඟීමෙන් දේශපාලනඥයා ක්‍රියා කරන්න ඕන. රජය හොඳ දේ කළත් නරක දේ කළත් විපක්ෂය සෑම විටම බලන්නේ අඩුපාඩුවක් හොයමින් චෝදනා නගන්නයි.එන්නත් ගේන්නේ නැතුව ඉන්නකොට ගේන්නේ නැහැ කියලා චෝදනා කළා. ගේනකොට ඒවට ගෙවන මුදල වැඩියි කියලා චෝදනා කළා. කොවිඩ් පරීක්ෂණ හරියට කෙරෙන්නේ නැහැ කිව්වා.රෝගීන් වාර්තා වීම ගැන රටට පෙන්වන දත්ත වැරදියි කිව්වා.එන්නත් ලබාදීම තුළින් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කළ රටවල් අතර අපේ රට ඉදිරියෙන්ම ඉන්නවා. රජයේ ඒ ක්‍රියාදාමය අගය කරන්නේ නැහැ. අපහසුතා තිබුණත් වෙනත් රටවල් වලට සාපේක්ෂව රජය හොඳින් කටයුතු කරලා කොවිඩ් ව්‍යාප්තිය හා මරණ පාලනය කළා.මේ අවස්ථාවේ රෝගය ව්‍යාප්ත වීමට නොදී කටයුතු කිරීමේ වගකීම ජනතාවටත් පැවරෙනවා.
ජත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යනවිට යම් යම් කොන්දේසි පැනවෙන බව අපි දන්නවා.ඒවා ඉටු කරන්න පුළුවන්ද කියන කාරනය ගැනත් අපි සැලකිලිමත් වීම වරදක් නැහැ.අපේ රටේ පොදු ජනතාව තවත් අසීරුතාවට පත්වෙනවා නම් ඒවට එකඟ වීමට පුළුවන් කමක් නැහැ. නමුත් ඔවුන් සමඟ සාකච්ඡා කිරීම වරදක් නැහැ. අත්හැරලාම දාන එක වැරදියි. ජත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපිට අධාර උපකාර කරලා තියෙනවා.ඉටු කරන්න බැරි කොන්දේසි වලට යටත් වෙන්න අවශ්‍යය නැහැ.ජත්‍යන්තරයේ විවිධ රටවල් වලින් අපිට අධාර උපකාර ලැබෙනවා.අපේ ණය බර තවත් වැඩිවෙන දේවල් වුණොත් රට තවත් අසීරුතාවට පත්වෙනවා.ඉන්ධන යම් ලබා ගැනීම සඳහා ඉන්දියාව යම් මුදලක් අපිට ලබාදෙන බව ප්‍රකාශ වෙනවා.ඒක වැයවෙන මුදලක්.ඒකත් අවසන් වුණාට පස්සේ අපි මොකද කරන්නේ.තානාපති සේවයේ ඉන්න යම් යම් අය වරප්‍රසාද ලබාගෙන ජාතික ධනයත් වියදම් කරලා රටට ඵලදායි සේවයක් කරන බවක් පේන්න නැහැ. ඒ ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.
කාබනික වගාවට යොමු වීමේදී අර්බුද මතුවුණේ ඊට යොමුවීමේදී පැවැති පූර්ව කළමනාකරණයේ අඩුපාඩු නිසයි.ගම්මාන වල කෘෂි නිලධාරීන් නිසි වෙලාවට ගොවීන්ට උපදෙස් දීලා තිබුණේ නැහැ.මේ නිසා කෘෂිකර්මාන්තයේ යම් අඩාල වීමක් ඇතුවුණා.ඒක ඉදිරියේදී හෝ නිවැරදි විය යුතුයි.එසේ නොවුණොත් ලොකු ආහාර අර්බුදයකට ලක්වෙන්න අපිට සිදුවේවි.