බුස්ටරේ . මධ්‍යම එක කරයි – නදීක දයා බණ්ඩාර

කොරෝනා මර්ධන බූස්ටර් එන්නත ලබාදීමේ  සම්බන්ධයෙන් මධ්‍යම පළාත ප්‍රථම ස්ථානයට පත්ව ඇතැයි පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි.

මිනිස් ජීවිත බේරාගැනීමට ඇති එකම විසදුම වන්නේ එන්නත්කරණය යැයි පෙන්වා දුන් ඒ මහතා මධ්‍යම පළාතේ එන්නත නොගත් පාර්ශව සඳහා තෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා බව ද කීවේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී   පැවැති පළාත් කොවීඩ් කාර්යය සාධන බලකා රැස්වීමේදීය.

සෙසු පළාත් හා සැසදීමේදී මධ්‍යම පළාතේ වයස අවුරුදු 60ට ඉහළ පුරවැසියන්ගෙන් සියයට 90ක් බූස්ටර් තෙවන මාත්‍රාව ලබාගෙන ඇතැයි කී ඒ මහතා අවුරුදු 30 – 60 අතර පිරිසෙන් සියයට පනහක් එම මාත්‍රාව ලබා ගෙන ඇතැයි ද ප්‍රකාශ කළේය.

සිරිපා වන්දනා සමය ආරම්භ වී ඇති බැවින් වන්දනා කණ්ඩායම් සහ දේශීය විදේශීය සංචාරකයන් මධ්‍යම පළාත තුළ සංචරණය කිරීම ඉහළ යන නිසා පළාත් සෞඛ්‍ය බලධාරීන් විමසිලිමත් විය යුතු යැයි ඒ මහතා අවධාරණය කළේය.

සාමාන්‍ය රෝගීන් ප්‍රවේශවීම අවම මට්ටමක පවතින රෝහල් සහ කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සක්‍රීය තත්ත්වයෙන් පවත්වා ගන්නා ලෙස ද ආණ්ඩුකාරවරයා එහිදී උපදෙස් දුන්නේය.

තෙවන මාත්‍රාව ලබා ගැනීමේ වැදගත්කම මහජනයාට පෙන්වාදිය යුතු යැයි ආණ්ඩුකාරවරයා, පැතිරයාමේ දැඩි අවදානමක් පවතින ඔමික්‍රෝම් ප්‍රභේදයේ ව්‍යාප්තිය අවම කිරීම හා මහජනයා දැනුවත් කිරීම පිළිබදව අදාල පියවර ගන්නා ලෙස අදාල නිලධාරීන්ට එහිදී දැනුම් දුන්නේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා, පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් බී.එච්.එන්.ජයවික්‍රම මහතා, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

 

 

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *