ගඟවට කෝරළයත් එජාපයට අහිමි වෙයි _ මහනුවර වාර්තාකරු

මෙතෙක් එජාපයට බලය හිමිව තිබූ ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිකර දෙමින් එම පක්ෂයේ ඩී.ඒ ධර්මසේන මහතා සභාපති ධූරයට පත්විය.
නව සභාපතිවරයෙකු තෝරා ගැනීම ඊයේ (18) මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සභා ශාලවේදී පැවැත් විණි.
අයවැය පිට පිට දෙවතාවක් සභා සම්මත නොවීම නිසා හිටපු සභාපති සුභාෂ් යටවර මහතා තනතුර හැරගියා සේ සලකා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා විසින් පළාත් පාලන පනත අනුව සභාපති ධූරයේ වැඩ බැලීම සඳහා උප සභාපතිවරයාව පත් කරනු ලැබීය.
ඒ අනුව නව සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ (18) පැවැත් විණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 09 දෙනාත් ශ්‍රී ලංකා නිදහස් පකෂයේ මන්ත්‍රීවරු දෙදෙනාත් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු දෙදෙනත් එජාපයේ එක් මන්ත්‍රීවරයෙකුත් මෙදින සභාවට පැමිණ සිටියහ.
හිටපු සභාපති සුභාෂ් යටවර මහතා ඇතුළු එජාප මන්ත්‍රීවරු 08 දෙනෙකු මෙදින සභාවට නොපැමිණීම විශේෂත්වයකි.
සභාපති ධූරය සඳහා ඩී.එම් ධර්මසේන මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ චමින්ද කරුණාරත්න මහතා විසින් යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ එම පක්ෂයේ එම්.චාමිකර මහතා විසිනි.
වෙනත් කිසිවෙකු සභාපති ධූරය සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ඡන්ද විමසීමකට නොගොස් එම්.ඒ ධර්මසේන මහතා එම ධූරයට පත් කරනු ලැබීය.
හිටපු සභාපතිවරයා සභාපති නිල කාමර‍යට අගුළු දමා එහි යතුරු රැගෙන ගොස් තිබීම නිසා නව සභාපතිවරයාට එම කාමරයට ඇතුළු වීමට සිදුවූවේ ඉබි යතුරු කඩා දමමිනි.මෙම අවස්ථාවේ ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාව අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබිණි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *