ශ්‍රීපාද වන්දනාව සඳහා වාර්තා ගත සෙනගක් – හැටන් චන්දන ජයවීර

ඉකුත් සිකුරාදා (14) සිට සති අන්තයේ යෙදී තිබූ දීර්ඝ නිවාඩුවත් සමග නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා දේශිය හා විදේශිය විශාල ජනතාවක් පැමිණි බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
මෙවර ශ්‍රීපාද වන්දනා සමයේ වැඩිම වන්දනාකරුවන් පිරිසක් පැමිණි සති අන්තය මෙය බවද පොලීසිය කියයි.
නල්ලතන්නිය නඟරයේ පිහිටි මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ හා පෞද්ගලික රථ ගාල් සියල්ල ප්‍රමාණවත් නොවීම නිසා ශ්‍රීපාද වන්දනාකරුවන් රැගෙන ආ බස් හා වෑන් රථ නල්ලතන්නිය-මස්කෙළිය ප්‍රධාන මාර්ගය දෙපස කිලෝ මීටර් 04 ක් පමණ දුරට ගාල් කර තිබුණි.
නල්ලතන්නිය මාර්ගයෙන් ඉකුත් සිකුරාදා ,සෙනසුරාදා හා ඉරිදා දිනවල විශාල රථ වාහන ප්‍රමාණයක් පැමිණීමත් සමග එම මාර්ගයේ ස්ථාන කීපයක දැඩි වාහන තදබදයක් ඇතිවීම නිසා පොලිස් නිලධාරීන්, රිදුරන් හා වන්දනාකරුවන්ද අපහසුතාවයට පත්වූහ. නල්ලතන්නිය පොලීසියේ නිලධාරීන් විසින් දවසේ පැය 24 පුරාම දැඩි වෙහෙසක් දරමින් රථ වාහන හසුරුවන අයුර දක්නට ලැබුණි.
පවතින කොවිඩ් උවදුරෙන් ආරක්ෂාවීම සඳහා වන්දනාකරුවන්ට මුව ආවරණ නිවැරදිව පැළඳගෙන, සෞඛ්‍ය ආරක්ෂිතව ශ්‍රීපාද වන්දනාවට පැමිණෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාධ්‍ය මගින් හා නල්ලතන්නිය පොලීසිය පසෙක පිහිටි “සමන්ගිර” ශ්‍රීපාද අධිබල ශබ්ද විකාශන සේවාව මගින් නිරන්තර නිවේදන හා උපදෙස් නිකුත් කරමින් ඉල්ලා සිටියද ඇතැම් වන්දනාකරුවන් එම උපදෙස් පිළි නොපදිමින් ගමන් කරන අයුරු දක්නට ලැබුණි.
වන්දනා නඬවල පැමිණි වයෝවෘද්ධ පුද්ගලයින් හා ළමයින් නලලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ විවිධ ස්ථානවලදී අතරමංවී තිබුණි. එම පිරිස නල්ලතන්නිය පොලීසියේ සම්බන්ධිකරණයෙන්, සමන්ගිර ශ්‍රීපාද ශබ්ද විකාශන සේවාව මගින් නිරන්තර නිවේදන නිකුත් කරමින් නැවත අදාළ වන්දනා නඬ වලට භාර දීම සිදු කළේය.
දැන්වීමකි