බෙදීම් නැති වරදකින් බැදීම් ඇති පරපුර ක් – අමායා උඩුවැරැල්ල 

ජීවිතයේ මග වරද්දා ගත් කාටත් එය නිවැරැදි කර ගැනීමට අවස්ථාවක් හිමිවෙයි. එය නියාමාකාරව තේරුම් ගෙන වරද නිවැරදි කරගෙන ජීවිතය දිනූවන් මෙන්ම වරද තේරුම් නොගෙන කටයුතු කර අවාසනාවන්ත අවසානයකින් ජීවිතය කෙළවර ගත්තෝද අපි දැක ඇත්තෙමු. බුදුන් දවස විසූ අංගුලිමාලා  බුද්ධ දේශනාව අසා නිවන් මඟ පසක් ගැනීමෙන් පසු රහත්භාවයටද පත්වූහ.මග වැරද්දාගෙන ජීවිතය ඛේදාන්තයකින් කෙළවර කරග න්නට කෙනෙකුට ගතවන්නේ සුළු මොහොතකි. එසේ වුවත් වරද අවබෝධ කරගෙන හරිමඟ ගමන් ගෙන ජීවිතය ජය ගැනීම මොහොතකින් ඉටුකර ගත නොහැකි ඉලක්කයකි. ඒ සඳහා කාලයක් පුරුදු පුහුණු විය යුතුය.මතට ලොල්වී මග වරද්දා ගත් දහස් ගණනකට එලෙස හරිමග කියාදෙන මධ්‍යස්ථානයක් ලෙස කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය හැඳින්වීමට පුළුවන. කාගේ හෝ මග පෙන්වීමක් ඔස්සෙ ජීවිතයේ එළිය දකින්ට වෙර දරන පිරිස අතර සුමනසිරිලා,නඩරාජාලා,මොහොමඩ්ලා අත්වැල් බැඳගෙන සිටින්නේ ජාති,ආගම් බේද සියල්ල ජීවිතයෙන් ඈතට පාකර හරිමිනි.

රටපුරා සෑම ප්‍රදේශයකම පාහේ කුඩු,ගංජා,කොකේන්,අයිස් ඇතුළු මත්ද්‍රව්‍යය භාවිතය නිසා ජීවිතයේ මග වරද්දාගෙන විවිධ සමාජවිරෝධී ක්‍රියාවලට යොමුවූවන් කන්දකාඩුවට පැමිණ සිටින්නේ අධිකරණ නියෝග මතය.එම නියෝගය නිකුත් කරනු ලැබ තිබෙන්නේ පොලීසීය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
කන්දකාඩුව යනු සියලු ජාතීන්ගේ ආගමට හා සංස්කෘතියට ගරුකරන්නාවූ ස්ථානයකි.මේ නිසාම කන්දකාඩු භූමියේ පන්සලක්,කෝවිළක් හා පල්ලියක් දැකිය හැකිය.මාසේ පුන් පෝය දින භික්ෂූන් වහන්සේ නමක් වැඩම කර පවත්වන ධර්මදේශනයට සියලු දෙනා සහභාගි වන්නේ ජාති,ආගම් බේදයෙන් තොරවය.වෙසක් උත්සවයට පහන් කූඩු තනන්නට සමන් සමඟ සුදම් පමණක් නොව අබ්දූල් ද රාජුද එක් වෙති.සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට දෙමව්පියන් හා සහෝදර සහෝදරයින් කන්දකාඩු එන්නේ විශේෂයෙන් මුස්ලිම් සහෝදරයින්ටත් කැවිළි රැගෙනය.

 අධිකරණය මගින් පුනරුත්ථාපනය සඳහා යොමුකරන පුද්ගලයින් මුලින් පැමිණෙන්නේ  කන්දකාඩුවටය. කන්දකාඩුවේ ප්‍රතිකාරවලින් පසුව  ඔවුන් සේනපුරට යවා වෘත්තීය පුහුණුවක් ලබා දී යහපත් මිනිසුන් ලෙස යළි සමාජයට මුදාහරින වික්‍රමය ලෙහෙසි පහසු නැත.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කිසිවෙකු ජාති හෝ අගම් ලෙස වර්ග කළ නොහැකිය. තම තමන්ගේ මානසික තත්ත්වයන් මත මතට ඇබ්බැහි වූවන් ලෙස කන්දකාඩුවට පැමිණෙන්නේ  සංස්කෘතිය හෝ සමාජ තත්ත්වය පිළිබව කිසිදු හැඟීමකින් තොරවය.

 වර්ෂ 2013 අගෝස්තු 29 වැනි  දින පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාලය මගින් කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ස්ථාපිත කොට ඇත. එදින සිට මෙරට පළාත් නවයටම අයත් පුද්ගලයින් මෙහි පුනරුත්ථාපනයට යොමුව තිබේ. උතුර,දකුණ,නැගෙනහිර යාකරමින් පැමිණි තරුණයින් මගින් ඒ ඒ ජාතීන්ට හා අගමිකයින්ට අයත් සංස්කෘතිකාංග මගින් සුවිශේෂි හැඩයක් කන්දකාඩුවට ලැබී තිබේ.

” මෙතන්ට එන හැමෝම එක හා සමානයි.ඒ හැඟීම අපි පළමු දවසෙම ඒ අයට ලබා දෙනවා. ජාති,ආගම්,කුල,උස් පහත් බේද කිසිවක් මෙතන නැහැ. මධ්‍යස්ථානයට ඇතුළු වෙත්දිම යට ඇදුමේ පටන් සියලු ඇඳුම් ඉවත් කරලා විනාශ  කරනවා. අපි දත්බුරුසුව,රැවුල බාන රේසරය,තුවාය ඇතුළු සියලු දේ ලබා දෙනවා. සරමක් කොටකලිසම් දෙකක් දිගකලිසමක් ටීෂර්ට් දෙකක්, බෙඩ් ෂීට් දෙකක්, කොට්ට උර දෙකක්,සෙරෙප්පු කුට්ටමක්, සපත්තු කුට්ටමක් ඇතුළු සියල්ල මේ භාණ්ඩ කට්ටටලයට අයත්.කොණ්ඩය කපන්නෙත් එකම රටාවකට. පුනරුත්ථාපන ක්‍රියාවලියේම කොටසක් ලෙස වගා කටයුතු වලටත් මේ අයව යොමු කරනවා………..පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුළට රැඳවියන් ඇතුළු කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ජීවිතවල වගකීම තිබෙන්නේ අපටයි එහෙයින් නීත්‍යනුකූල ලෙස වෘත්තිය පුහුණු ලබාදීමෙන් අනතුරුව මේ පිරිස් නිවෙස් කරා යැවීමට කටයුතු යොදන්න අපට සිදුවෙනවා. කවුරු කෙසේ කුමක් කීවත් ඒ සියල්ල සිදුවන්නේ නීත්‍යානුකූලව පමණයි..,”  පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා එසේ කීවේය.

මත්ද්‍රව්‍යය භාවිතයේ ආදිනව මෙන්ම එමගින් ශරීර ඉන්ද්‍රියන්ට සිදුවන හානිය කියා දෙන අතරතුරු රැදවූවන්ගේ ක්‍රිඩා හා  සංගීත කුසලතා ඉස්මතු වන ක්‍රියාකාරකම් ද කන්දකාඩුවේ අඩුවක් නොමැත.විවිධ සංස්කෘතීන්ට අයත් ගීත මෙන්ම ක්‍රීඩා අංගද එක් කිරීමට පාලනාධිකාරිය කටයුතු කර තිබෙන්නේ ජාතියක්,ආගමක් ලෙස කිසිවෙකුත් නොසලකා හැර නොමැති බව ඒත්තු ගැන්වීටය.පිල් බෙදී ක්‍රිඩා කරත්දී සියලු ජාතීන් නියෝජනය වන පරිදි කණ්ඩායම් සකස් කිරීම ඔස්සේ ජයග්‍රහණය හා පරාජය ජාති,ආගම් බේදයෙන් තොරව බුක්ති විඳීමේ අවකාශ සැලසීම කන්දකාඩුවේ විශේෂත්වයකි.
මේ වනවිට කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරෙන් පුහුණුව ලැබු පිරිස 5340 කි. සේනපුර කදවුරට යොමුකළ පිරිස 3823 කි. මේ මොහොත වනවිට කන්ද කාඩුවේ පුනරුත්ථාපනය වෙමින් සිටින සංඛ්‍යාව 862 කි.මේ පිරිස අතරින්  791 දෙනකු සිංහලය. මුස්ලිම් ගණන 53 කි. දමිළ සංඛ්‍යාව 18 කි. ඔවුහූ  විවිධ ආගම් අදහන්නවුන්ය. බෞද්ධයින් 679 දෙනෙකුද  ක්‍රිස්තියානි  ද  76 දෙනකු ද රෝමානු කතෝලික ද 53 දෙනෙකු ද  හින්දු 36 ක් හා ඉස්ලාම් 18 දෙනෙකු ද මේ අතර සිටිති. කන්දකාඩුවේ ඔවුනොවුන්ට රිසි සේ  ආගම් ඇදහීම සදහා වෙන් වෙන්ව ආගමික ස්ථාන ස්ථාපිත කර තිබේ. ඒ ඒ ආගම්වලට  විශේෂ වූ දිනයන්හි  උත්සව පවත්වන්නේ සෙසු ආගමිකයන්ගේද සහභාගිත්වය ඇතිවය.
මැහුම් ගෙතුම් පමණක් නොව කොණ්ඩ කැපීම,රූපලාවන්‍ය,බේකරි නිෂ්පාදනය ආදි විවිධ ක්ෂේත්‍ර වලට පැතිරුණු දැනුමක් මෙහිදී තරුණයින්ට ලබාදෙයි.එක් එක් පුද්ගලයාගේ හැකියාවන් නිවැරදිව හඳුනා ගෙන ඔවුන් නිසි ක්ෂේත්‍රය සඳහා යොමු කිරීමට නිලධාරීන් තුළ ඇත්තේ මනා හැකියාවකි.

මතට ඇබ්බැහි වූවන්ගේ මානසික සුවතාව පිණිස භාවනා හා යෝග වැඩසටහන් මාසිකව මෙහි පැවැත්වෙයි.භාවනාවෙන් හිත නිවෙන බව දැනගත්තේ මෙහේ ආවට පස්සේ .දැන් හිතෙනවා භාවනා කරලා හිත ශක්තිමත් කර ගන්න එක අනික් හැමදේටම වඩා පහසුයි කියලා.රැඳවියෝ එසේ පවසන්නේ භාවනාව මගින් ලද මානසික සුවය විඳගනිමිනි. භාවනාව බෞද්ධාගම හා බැඳී පැවතුනද කතෝලික,හින්දු හා ඉස්ලාම් බැතිමතුන්ද ඉන් ලබන සුවය ගැන කතා කරන්නේ මහත් වූ සතුටකිනි.

සමූහයක් ලෙස පුනරුත්තාපනය වන මේ සියල්ලෝම ජාති ආගම් කුල සියල්ල අතහැර දමා එකම කුලකයක ජීවත් වන පිරිසකි. සෑම ආගමික නායකයකුගේම දර්ශනය තුළ ගැබ්ව ඇත්තේ යහපත් පුරවැසියන් ගොඩනැගීමය. වරදක් සිදුකරන්නට ජාතියවත් ආගමවත් සංස්කෘතියවත් බලපාන්නේ නැත. අප කරන්නේ වරද කළ පසු ඔවුන් ජාති හා අගම් වලට වෙන්කර වරද විග්‍රහ කර ගැනීමය. කන්දකාඩුවට ගියවිට ඒ සියල්ල නිශ්ප්‍රභා වී යයි. ඒ ජාති,ආගම් හා බෙදී වෙන්ව පැමිණෙන පිරිස කන්දකාඩුවේදී වැරදි නිවැරදි කර ගන්නේ ජාති,ආගම් සියල්ලට පෙර මනුස්සකම පෙරමුණේ තබාගෙන ගෙනය.
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *