තේ වගාවට කුඩාම්මාගේ සැලකිල්ල – මහනුවර වාර්තාකරු

කුඹුරු ගොවීන්ට රුපියල් 10000 කට දෙන යූරියා මිටිය තේ ගොවීන්ට රුපියල් 15500 කට ලබාදෙන බවත් එකම රටේ ගොවීන් කොට්ඨාස දෙකකට වෙනස් විදිහට සැලකීම අනුමත කළ නොහැකි බවත් මධ්‍යම පළාත් තේ ගොවීන් සුරැකීමේ සංවිධානයේ හා මධ්‍යම පළාත් කුඩා තේ වතු සමිති සන්ධානයේ සභාපති දඹගොඩ සෙනෙවිරත්න මහතා පවසයි.
පොහොර සහනාධාර මිලක් යටතේ ලබා දෙන්නේ නම් සියලු ගොවීන්ට එකම මිලකට ලබාදිය යුතු බවද ඒ මහතා කීය.
මහනුවර පොත්තපිටියේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සෙනෙවිරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.
රටේ විදේශ විනිමය ගැටලුවක් පැන නැගී තිබෙන මොහොතක රටට ඩොලර් ගෙන එන තේ ගොවියාට වෙනස් ලෙස සැලකීම අනුමත කළ නොහැකි බවත් මෙම ගැටලුවට ඉක්මන් විසඳුමක් රජයෙන් අපේක්ෂා කරන බවත් හෙතෙම අවධාරණය කළේය.
මේවන විට රටේ විවිධ පළාත් අනුව තේ දලු කිලෝවක් සඳහා ගෙවන මිල වෙනස් වන බවත් දකුණු පළාතේ දලු කිලෝවකට රුපියල් 400 ක පමණ මුදලක් ගෙවත්දී මැදරට ගොවියාට ලැබෙන්නේ රුපියල් 150 ක පමණ මුදලක් බවත් සෙනෙවිරත්න මහතා කීය.
දලු සඳහා මේ ආකාර වෙනස් මිල ගණන් පළාත් මට්ටමින් ක්‍රියාත්මක වුවත් සියලු තේ ගොවීන්ට පොහොර මිටියක් මිලට ගැනීමට සිදුව තිබෙන්නේ රුපියල් 15500 කට බවත් ඒ මහතා කීය.
සියලු පළාත් වල තේ එකට අපනයනය කරන්නේ නම් එක් එක් ප්‍රදේශ වලට විවිධ මිල ගණන් ක්‍රියාත්මක වන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවත් මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙස ජනපතිවරයා ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසුවේය.
එකම කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමැතිවරු දෙදෙනෙක් තමන් යටතේ පාලනය වන ගොවීන්ට මිල ගණන් දෙකකට පොහොර ලබාදීම හාස්‍යයට කරුණක් බවද සභාපතිවරයා කීවේය.
වත්මන් ජනපතිවරයා හා කැබිනට් මණ්ඩලය පත්ව එතරම් කාලයක් ගතව නොමැති බැවින් උද්ඝෝෂණ හා විරෝධතා මේ අවස්ථාවේ පැවැත්වීමට සූදානම් නොමැති නමුත් අදාළ ගැටලු වලට විසඳුම් නොදුන්නහොත් ඉදිරියේදී දැවැන්ත විරෝධතාවක් දියත් කරන බවත් ඒ මහතා කීය.