ඇසළ පෙරහැර මංගල්‍යය සදහා කප් කැපීමේ චාරිත්‍රය විෂ්ණු දේවාල පරිශ්‍රයේදී – මහනුවර වාර්තාකරු

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයේ සමාරම්භය සනිටුහන් කරමින් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප කැපීම සහ සෙංකඩගල පුරවරය දක්වා කප වැඩම කිරීම 28 වැනි දින අලුයම අලුත්නුවර දී සිදුවිය.

මහනුවර විෂ්ණූ දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඒකාබද්ධව අලුත්නුවර ප්‍රදේශයේ තෝරා ගත් කිරි සහිත ඵල නොදැරූ ගසක් රිදී පොරවකින් කැපීම මෙහිදී සිදුවිය.

මහනුවර සිව් මහා දේවාලයන්හිදී සිදුකරන කප් සිටුවීම සඳහා කප සූදානම් කිරිමේ කාර්යයභාරය පැවරී ඇත්තේ අලුත්නුවර විෂ්ණු දේවාලයටය. ඒ අනුව මහ දේවාලය පිහිටි ප්‍රදේශයේ නැගෙනහිර දිශාභිමුඛව පිහිටන ඵල නොදැරූ පනස වෘක්ෂයක් එනම් ළපටි කොස් ගසක් මේ වෙනුවෙන් වෙන් කර ගනිති. 

තෝරාගත් ගස වටා පිරිසිදු කොට තිර ඇද, ගස සුවද පැනින් නාවා, සුවද දුම් අල්වා සුභ මූර්තියෙන් ගස නැගෙනහිර දිශාවට වැටෙන සේ  කපා හෙළීම සිදුකරයි.

මහනුවර විෂ්ණූ දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා විසින් වන්නක්කු රාළ වෙත රිදී පොරව භාර දී පනස වෘක්ෂය කැපීම සදහා අවසරය ලබා දෙන ලදි.         මහා සංඝරත්නයේ පිරිත් සඤ්ඤායන මධ්‍යයේ පනස වෘක්ෂය කැපීම සිදුවිය.

අනතුරුව සකස් කරන ලද එම කප සුදු රෙදි කඩින් ඔතා සුදු උඩු වියන් සහිත මහ පෙරහැරින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය කරා ඇතු පිටින් වැඩම කිරිම සිදුකෙරිණි.

අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ තේවාව භාර දම්සිරි  බණ්ඩාර කරුණාරත්න මහතා, විදානේ රාළ වන වරුණ බණ්ඩාර මහතා, ප්‍රධාන කපුරාළ වන තිස්ස දසනායක මහතා  ද මේ අවස්ථාවට එක්විය.

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *