රාජපක්ෂ රෙජිමය බිඳ වැටුණාද  ? බර්නාර්ඩ් එදිරිසිංහ ලියයි

රාජපක්ෂ රෙජිමය බිඳ වැටුණාද

#ගෝ ගෝඨා ගෝ හෝම් සටන් පාඨය යථාර්ථියක් කරමින් ජුලි 9 වන දින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරය හිස් කරමින් පලා ගියේය. වැඩ බලන ජනාධිපතිවරයා වෙනුවට අනුප්‍රාප්තික ජනපතිවරයෙකු පත් කිරිිමදැනට සැලසුම් කර ඇති පරිදි  ජුලි 20 වන දින පාර්ලිමේන්තුව විසින් සිදු කරනු අපේක්ෂා කළ හැකිය.

මේ වන විට අනුප්‍රාප්තික ජනපති පත් කිරිිම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂත් අතර ඇති වි තිබෙන විවාදයත් සමගම රට තුළ මහත් ව්‍යාකුල තත්ත්වයක් ඇති වනු ඇතැයි බැලු බැල්මට පෙනි යයි. ඊට සමගාමිව සිවිල් සමාජ සංවිධාන, විවිධ වෘත්තිය සංවිධාන හා බුද්ධිමතුන් ඇතුලු  විවිධ පාර්ශවයන් විසින් රට ඉදිරියට ගෙන යාම පිණිස විවිධ යෝජනා ඉදිරිපත් කරති.

මෙම දේශපාලන කාලගෝට්ටිය මැද පුරවැසියන් විසින් අසනු ලබන ප්‍රශ්න කිහිපයක් තිබේ.

දේශපාලන රෙජිම සංක්‍රාන්තියක් සිදු වුණාද? 

දේශපාලන රෙජිමයක් අදහස් කරන්නේ යම්කිසි සමාජයක බහුතරයකට බලපාන කරුණු සම්බන්ධයෙන් භූගෝලීය සීමාවන් සහිතව පුද්ගලයෙකු හෝ පුද්ගලයින් කණ්ඩායමක් විසින් පැහැදිලි නීතිරීති හා භාවිතයන්  ගොඩ නගමින් පවත්වා ගෙන යන පාලන තන්ත්‍රයකි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවෙහි ඉඩම් හිමි වැවිලිකරුවන්ගේ පවුලකින් ආරම්භ වු රාජපක්ෂවරුන්ගේ දේශපාලන ආගමනය 1936-1970 දක්වා  නඩත්තු කර ගැනීමට මුල් රාජපක්ෂ පරම්පරාව සමත් වු අතර 1977 දි රාජපක්ෂවරු පරාජය වුහ.නැවත ඔවුන් මහින්ද හා චමල් රාජපක්ෂ යටතේ 1987 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දි පාර්ලිමේන්තුවට ඇතුල් වන අතර එතැන් පටන් බැසිල්, නාමල්, නිරූපමා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජික සාමාජිකාවන් දේශපාලනයට ඇතුල් වුහ. 2005-2015 දක්වා රාජපක්ෂ වරු තමන්ට ම ආවේණික රටාවකින් ශ්‍රී ලංකාව පාලනය කළ අතර රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් ඔවුහු නිරන්තරයෙන්ම සැකකරනු ලැබින. 2019 ජනාධිපතිවරණයෙන් යලි බලයට පත් රාජක්ෂ පවුල 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දි සිය බලය පාර්ලිමේන්තුව තුල තහවුරු කර ගත්හ. 2022 ගෝඨභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා හැරිමත් සමගම ඇත්ත  වශයෙන්ම සිදු වුවා සේ පෙනි යන්නේ රාජපක්ෂ රෙජිමය ඉරි තැලිමක් මිස සම්පුර්ණයෙන්ම ගලවා ඉවත් කිරිමක් නොවේ.

රාජපක්ෂ රෙජිමය ගොඩ නැඟි තිබුණේ හුදෙක් ගෝඨාභය රාජපක්ෂ මත නොවේ.එහි පොදුජන මුහුණුවර මහින්ද රාජපක්ෂ විසින් නියෝජනය කළ අතර චාණක්‍ය මෙන් උපාය මාර්ගිකයා වුයේ බැසිල් රාජපක්ෂය. දේශපාලන පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව දියත් කිරීම රාජපක්ෂ රෙජිමය උපාය මාර්ගික වශයෙන් ගත් වැදගත්ම තින්දුව ලෙස සැලකිය හැකියි. එමගින් බැසිල් රාජපක්ෂකට ඉහළ සිට මෙහෙවිය හැකි  බිම් මට්ටම කරා විහිද ගිය දේශපාලන අනුගාමිකයින්ගේ ජාලයක් නිර්මාණය කෙරිණ. ඇත්ත වශයෙන්ම බැසිල් රාජපක්ෂගේ අදහස වුයේ මහජන චිනයේ කොමියුනිස්ට් පක්ෂය මෙන් ඉහළ සිට භූමියේ සිටින සිය පාක්ෂික නියෝජිතයා වෙත දෙන නියෝග වලින් ගමක් පාලනය කළ හැකි දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරිම විය. තමාගේ අරමුණ මහජන චින කොමියුනිස්ට් පක්ෂය මෙන් ඉහළ සිට පහළට ගලා ගෙන යන පක්ෂයක් ගොඩ නැඟිම යැයි ඔහු 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණය නිමා විමත් සමගම මාධ්‍යයට කළ ප්‍රකාශයකින් එය මැනවින් සනාථ විය.

2016 පළාත් පාලන ආයතන මැතිවරණයෙන් ලබා ගත් ජයග්‍රහණයත්, 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීම මගින් දිනා ගත් දේශපාලන සුජාතභාවය බොහෝ සෙයින් පිරිහි ගිය බව නිරික්ෂණය කළ හැකි වුවත් එය සම්පුර්ණයෙන්ම දිය වි ගොස් ඇතැයි කිව නොහැක.

විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරය තවමත් පොදු ජන පෙරමුණ සතු විම රාජපක්ෂ රෙජිමය සම්පුර්ණයෙන් ම මෙරට දේශපාලනයෙන් සෝදා පාළුවකට ලක් වි නොමැති බව පෙන්වා දෙයි.

ජන අරගලය විසින් රාජපක්ෂ රෙජිමය සොලවන්නට පටන් ගත් විට එහි පතුරු එකිනෙක ගැලවි ගොස් මැයි 9 දින ගැලවිය නොහැකි අයෝමය පතුරක් ලෙස සැලකු මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් විය. අනුප්‍රාප්තික අගමැතිවරයා වශයෙන් තෝරා ගැනුනේ රාජපක්ෂ රෙජිමයේ හිතවතෙකු ලෙස සමාජයේ පිළි ගැනීමක් ඇති, 2020 පාර්ලිමේන්තුව මහා මැතිවරණයෙන් එකදු ආසනයක් වත් දිනා ගැනීමට අපොහොසත් වු එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ලැබුන එකම ආසනය වෙනුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහය.අද ආපසු හැරි  බලන විට රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයට පත් කිරීම රාජපක්ෂ රෙජිමය විසින් සිය රෙජිමය ආරක්ෂා කර ගැනීම පිණිස ගන්නා ලද ඉතාමත් දුරදර්ශී තිරණයක් බව පෙනි යයි.

රාජපක්ෂවරුන් විසින් මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ගත් තින්දු තිරණ සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව බරපතල විවේචනයක් තිබේ. නමුත් රාජපක්ෂවරුන් විසින් මෙරට හා විදේශිය රටවල කර ඇති අයෝජන නිසා එම පවුල සතු ආර්ථික ශක්තිය බොහෝ විට අඩුවෙන් තක්සේරු කරනු ලැබේ.

දේශපාලනික හා ආර්ථික වශයෙන් රාජපක්ෂවරුන්ට තිබෙන ශක්තිය වත්මන් රාජපක්ෂ රෙජිමය නව අදියරකට සංක්‍රාන්තිවිම කෙරෙහි කිහිප ආකාරයකට බලපායි.

නව අදියර-

නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ වැඩපිළිවෙළ ජුලි 20 දින සාර්ථික  වුවහොත් සිදු විය හැක්කේ කුමක් ද?

දේශපාලන රෙජිමයන් ජන අරගලකරුවන් විසින් පලවා හැර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. ගෝතමාලාව, ඊජිප්තුව වැනි රටවල සිදු වු සිදුවිම් ආශ්‍රෙයන් ශ්‍රී ලංකාවේ දේශපාලනය හෙට අනිද්දා ගමන් කළ හැකි දිශානතිය පිළිබඳ ඉඟියක් ලබා ගත හැකිය.

පැරණි රෙජිමය කරා ආපසු යාම

ඊජිප්තුවේ සිදු වුවාක් මෙන් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනපතිවරයා වශයෙන් තේරි පත් වුවහොත් ජනතාව අතර සුජාතභාවයක් නැති ජනාපතිවරයෙකු යළිත් පත් කර ගැනීමේ වන්දිය ගෙවන්නට සිදු වන්නේ මෙරට මහජනතාවටය. ඊට ප්‍රධාන හේතුව රනිල් වික්‍රමසිංහට දේශපාලන නායකයෙකු වශයෙන් මැද මාවතේ ගමන් කරන දක්ෂිණාංශික නව ලිබරල්වාදියෙකු වශයෙන් දැක්මක් තිබුනත් ජන අරගලකරුවන් මෙන්ම වෘත්තීය සමිති ඇතුළු විවිධ දේශපාලන පාර්ශවකරුවන් අතර සුජාතභාවයක් නොමැතිවිමයි.

සංක්‍රාන්ති අදියරකට ගමන් කිරීම-

ගෝතමාලාවේ සිදුවුවාක් මෙන්  අනෙකුත් ජනාධිපති අපෙක්ෂයින් අතරින් කෙනෙකු තෝරා ගතහොත් අපේක්ෂිත මහා මැතිවරණයක් දක්වා යම්කිසි දේශපාලන එකඟත්වයක් ඇති විමට බොහෝ දුරට ඉඩ තිබේ යැයි අපේක්ෂා කළ හැකිය. ඊට හේතුව දැනටමත් මෙම ජනාධිපති  අපෙක්ෂයින් විසින් ජන අරගලකරුවන් විසින් ඉදිරිපත් කර ඇති ව්‍යුහාත්මක සමාජ,  ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ සඳහා යම් එකඟත්වයක් පළ කොට තිබිමයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *