සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීම් – මහවැව අමරනන්ද විජේසේකර

ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල භාණ්ඩ මිළ ඉහළ යාමත් සමග ධීවර කර්මාන්තය පවත්වා  ගෙනයාමට නොහැකි තත්වයක් උදාවීමෙන්  
වෙනත් රටවල මත්ස්‍ය සම්පතට තිබූ ඉල්ලුම සැපයීමට නොහැකි වීමෙන් එම රටවල් විකල්ප ක්‍රම අනුගමනය කිරීමෙන් යළිත් අපි යුරෝපා 
තහනම පැවති සමයට  ළඟා වෙමින් පවතින බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය අනතුරු හගවයි.
වෙන්නප්පුවේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ එම සංගමයේ නියෝජිතවරුන් පවතින අවදානම් තත්ත්වය අනාවරණය කළේය.
වත්මන්  ආණ්ඩුව මෙන්ම එදා පැවැති කිසිම ආණ්ඩුවක ධීවර ඇමතිවරුන් ධීවර කර්මාන්තය නංවාලීමටට උත්සාහ කළේ නැහැ. 
වත්මන් අර්බුදය ට එක් හේතුවක් එය බව කිසිම විවාදයක් නෑ. ඩොලර් උත්පාදනය කරගත හැකි මාර්ග කෙරෙහි අවධානයක් යොමු නොකිරීමට  බලධාරීන් උත්සහ නොකිරීම අපේම අවාසනාව.
  
ඉල්ලීම් ඉල්ලන  සෑම අවස්ථාවකම අපිව නොමඟ හරිමින් බොරු පොරොන්දු දීමෙන් අපිව වරාය තුළටම ගාල් වෙලා.යළිත් ධීවරයන්ට වත්මන් ධීවර අමාත්‍යවරයා ඉන්ධන සහන පැකේජයක් හදුන්වාදීමට කැබිනට් අනුමැතිය ලබාගන්නා බව  සඳහන් කරනවා. මෙයත් මුලාවක්ද? ගැටලු 
සහගතයි. ඒ හමුවේ නියෝජිතයන්ගේ පොදු මතයන්ය.

වත්මන් තත්ත්වය සම්බන්ධව අදහස් දක්වන  නියෝජිතයින්...

සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු



මීගමුව, ගන්දර, මිරිස්ස ඇතුළු දිවයිනේ සියලු ධීවර වරායන් වල ධීවර යාත්‍රා ගාල් කරලා. මීගමුව දික්ඕවිට වරාය වල 400 කට ආසන්න ප්‍රමාණයක්. මේ වගේ මුළු දිවයිනේම බහුදින ධීවර යාත්‍රා  6000 ක් පමණ ධීවර වරායන්වල ගල් වෙලා. මින් එක්දහස් හයසීයක්  ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම සඳහා  අනුමැතිය ලත් ඒවා. අද මුුළු දිවයිනේම සියලු ධීවර පවුල් ගත්තහම ලක්ෂ හයකට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත්වෙලා. පවතින තත්ත්වයේ වගකීම බාරගන්න නොමැති තරමට අරාජික වෙලා. එදා අපිට බහුදින යාත්‍රාවක් දියත් කිරීමට රුපියල් ලක්ෂ  15 සිට 19 දක්වා වියදමක් දරන්න සිදු වුණා. අද එය දෙගුණ වෙලා. ලක්ෂ තිස් තුනක් පමණ දියත් කිරීමට අවශ්‍ය . මේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ  සහ භාණ්ඩ මිල ඉහළ යාම නිසා මේ තත්ත්වය මත අපි කොහොමද  යාත්‍රාවක් දියත් කරන්නේ. මේ මුදල පියවා ගන්න බැහැ. 
ඇත්තෙන්ම අද අපිට කර්මාන්තයේ නියැලෙන්න බැරිද තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ.  බැංකු ණය ගෙවා ගන්න විදිහක් නෑ. ධීවර පවුල් අන්ත අසරණ වෙලා. මේ  තත්ත්වයෙන් යම් තරමට මුදා ගැනීමට හැකි වන්නේ අපිට සාදධාරණ ලෙස සහනයක් ලබාදීමෙන්.අපි හිතනවා මේ යෝජනාව ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වෙයි කියලා.

සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස්

මේ අරාබි මුහුදේ මසුන් අල්ලන සීසන් එක ඉවර වෙන කාලය උදාවෙලා තියෙන්නෙ. සාමාන්‍යයෙන් ඔක්තෝම්බර් සිට අප්‍රේල් දක්වා තමා අරාබි මුහුදේ මත්ස්‍ය ගහණය වැඩි. ඒ නිසා ඉදිරියේදී අපිට අපේ ධීවර යාත්‍රා දියත් කරන්න වෙන්නේ දකුණුදිග මුහුදෙ  ඇත්තෙන්ම දකුණු දිග  මුහුදේ මාළු හිගයි. 
මත්ස්‍ය ගහණය අරාබි මුහුදේ වගේ නෑ. පවතින මේ අර්බුදකාරී තත්ත්වයත් එක්ක අපිට ධීවර යාත්‍රාවක් දියත් කරලා කිසිම ලාභයක් ලබා ගන්න නොහැකි ත්ත්වයත් උදාවෙලා තියෙන්නෙ.  අඩුම ගාන‍ෙ යාත්‍රාවෙ යන සේවකයින්ට පඩි ගෙවාගන්න බැරි  තත්ත්වයක් තියෙන්නෙ. ඒ නිසා අපි ඉල්ලන්නේ අපි යළිත් රවට්ටන්න නැතුව,  මුලා කරන්නැතුව ඉතාමත් සාධාරණ ලෙස ඉන්ධන සහනයක් ලබා දීලා මේ ධිවර කර්මාන්තය නංවාලීමට පියවර ගන්න කියල. 
දැන් මේ කර්මාන්තයේ නියැලිලා ඉන්න ධීවර ජනතාවට  ඔලුව උස්සන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. සහන ලබාදීම කඩිනම් කිරීම  අත්‍යවශ්‍යයි. නැත්තම් අපිට වෙන්නේ අපේ බෝට්ටු වරාය වල  ගාල් කරලා තියන්න. අපිට නිවෙස් වලට හිර වෙලා කොටුවෙලා  ඉන්න වෙයි.  










සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ උප භාණ්ඩාගාරික නිමල් ප්‍රනාන්දු

රට වටේටම සාගරය. මේ වගේ සම්පත් තියෙන රටවල් ඉතාමත්  සීමිතයි. එදා සිටම අද දක්වා  ධීවර සම්පත් ආරක්ෂා කිරීමට  නිසි ක්‍රියාමාර්ග ගත්තෙ නෑ. ධීවර  ක්ෂේත්‍රයට අමාත්‍යවරු කීපදෙනෙක් ඉන්නවද? නිලධාරීන් ඕනෑවටත් වඩා ඉන්නවා. හැබැයි   කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් අද වෙනතුරු සකස් කරපු නැති නිසා තමයි මේ අර්බුදයට එක් හේතුවක් වන්නේ. මාලදිවයින  රටේ මත්ස්‍ය සම්පත් සංරක්ෂණය කිරීමට වැඩ වැඩසටහන්  ක්‍රියාත්මක කරනවා. නමුත් අපේ රටේ වෙන්නේ එක එක්කෙනාගෙ උවමනාවල් වලට තහනම් දැල් භාවිතා කරලා මත්ස්‍ය සම්පත විනාශ කරන එක. 
මේ ප්‍රශ්ණ වලට දැන්  කෙටි කාලීන විසඳුම් අවශ්‍යයි.  දැන් අපිට සහන ලබාදීමට යුතු කරන බව ධීවර අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා. ඔය සහන කියන වචනය අද ඊයෙක නොවේ අපේ සිත් තුළට කා වැද්දුවෙ.  අපි දන්න දා  ඉඳන් ඔය අකුරු තුන අපේ හිත් වලට , ඔලුවට රිංගවලා තියෙන්නේ.  

හැබැයි අද වෙනතුරු  ඉන් කිසිම අර්ථවත් දෙයක් අපට සිදු වුණේ නැහැ. වචන පමණයි. අපි කියන්නේ වර්තමාන ධීවර අමාත්‍යවරයා යළිත් ප්‍රකාශ කර තියෙනවා සහන  වැඩපිළිවෙළක්. එය  ඉක්මනින් ක්‍රියාත්මක කරයි කියලා අපි ඇස් ඇරගෙන ඉන්නවා.

නිමල් රංජිත්                         

දැන් අපි  බෝට්ටුව දික්ඕවිට වරායෙ ගාල්  කරලා තියෙන්නෙ. ගෙනියන්න අවශ්‍ය බඩුත් දාල.   එතකොට අද පාඩු කීයක්ද ?  සේවකයන්ට අපි පඩිනඩි දෙන්න ඕන. අපි බැංකු ණය වලින් තමයි මේ ධීවර යාත්‍රා  අරන් තියෙන්නේ. ඒ වගේම එක ගමන් වාරයක් යන්න ලක්ෂ විස්සකට ආසන්න මුදලක් යනවා. එතකොට ඒ මුදල  ගනුදෙනුවක් මත හෝ වෙනත් ක්‍රමයකින් අපි හොයා ගන්නවා. අපි මාස ගානකින් ආවට පස්සෙ ඒ මුදල පියවන්න ඔන. නමුත් දැන් අපි කරන්න දෙයක් නැතුව ඈත දියඹ දිහා  බලාගෙන . 

මේ දේ හැමදාමත් කරන්න බැහැ.  දැන් මේ ලබාදෙන සහනය මොකක්ද කියන එක අපි හරියටම දන්නෑ. මොකද අමාත්‍යවරුන් ගේ වචනය විශ්වාස කරන්න බැරි තරමට අපි තෙම්පරාදු වෙලා තියෙන්නෙ.  ඒ නිසා කඩිනමින් අපට සහන ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *