නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතලම ආර්ථික අර්බුදය දැන් ඇති වී තිබෙන බවත් මේවා නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි නම් ආණ්ඩුවක් මොකටද යන ප්‍රශ්නය ජනතාව විමසන බවත් ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
අද දරුවන්ට කිරි නොමැති,ගොවීන්ට බත නොමැති,ජනතාවට අයිතින් නොමැති,රටට නිදහස නොමැති කාලපරිච්ඡේදයක් නිර්මාණය වී තිබෙන බවත් ශ්‍රේෂ්ඨ සෝවියට් විප්ලවයේ ප්‍රධාන සටන් පාඨ වූයේද මෙම කරුණු බවත් ඒ මහතා කීය.
කිරිබත්කුඹුර ප්‍රදේශයේදී ඊයේ (01) පැවති ශ්‍රීලනිප පාක්ෂික හමුවකදී මහචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙසේද කීවේය.නිදහස ඉල්ලා කෑගහන මිනිස්සුන්ට,ගෑස් සහ ඉන්ධන ඉල්ලා පෝලීම් වල කෑගහන ජනතාවට වෙඩි තියලා මරාදමන යුගයක් අද ඇති වෙලා.
ඇමරිකාවේ ප්‍රධාන සඟරාවට ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යාඥයෙක් ලිපියක් ලියමින් පැවසුවේ ශ්‍රී ලංකාව නැමැති අතිශය රමණීය කුඩා දිවයින එකම පවුලක පස් දෙනෙකුගේ සමන්විත කණ්ඩායමක් විසින් විනාශ කිරීමේ ඛේදවාචකය අද ශ්‍රී ලංකාවේ ජනතාව අත්විදිමින් සිටින බවයි.අයැවැය ලේඛණයෙන් 75% ක් පාලනය කරන්නේ මේ පස්දෙනා.ජනපති,අගමැති,වාරිමාර්ග ඇමැතිවරයා,කෘෂිකර්ම රාජ්‍ය ඇමතිවරයා,මුදල් ඇමැතිවරයා,යෞවන කටයුතු හා ක්‍රීඩා ඇමැතිවරයා තමයි මේ පස්දෙනා. තරුණයෝ අප්‍රේල් 01 එළියට නොබැස්සා නම් මේ උද්ධච්ච ආණ්ඩුව තවමත් ඒ විදිහටම ඉන්නවා. ලංකාව පුරාම තෙල්, ගෑස්, ලාම්පු තෙල් ,කිරිපිටි පෝලීම්.බඩු මිල ජනතාවට දරාගන්න බැහැ.විදුලිය පැය 13 ක් කප්පාදු කරන තැනට රට පත්කළා.