අවුරුදු 94 දී දැනුමෙන් ජයගත් මාතාව

ජීවිතය යනු බලාපොරත්තු වලින් පිරුණු එකකි.ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනීමට නම් ඉලක්ක තිබිය යුතුය.ජීවිතය සුන්දර හෝ අසුන්දර වීම තීරණය වන්නේ එම ඉලක්ක සපුරා ගැනීම හා නොගැනීම මතය.බලාපොරොත්තු වන ඉලක්ක හඹා යෑමට වයස වලංගු වන්නේ නැත.අවශ්‍යය වන්නේ කැපවීම හා ඒ සඳහා වන වුවමනාව පමණි.මෙයට හොඳම උදාහරණය විතානගේ ඇස්ලින් ලීලාවතී ධර්මරත්න මාතාවයි.සැමියාගේ අභාවයෙන් පසු දූවරු සිව් දෙනෙකු සමඟ මෙළොව තනිවූ ඇය දිරියෙන් ජීවිතයට මුහුණ දී තම දරුවන් සිව්දෙනා උපාධිධාරීන් කරන්නට සිහින මැව්වාය.

එය යථාර්ථයක් කර ගැනීම සඳහා උපාධිධාරිනියක් වීමේ තම සිහිනය මෙයට පනස් වසරකට පෙර හකුලා ගත් ඇය දියණියන් තිදෙනා මහත් වෙහෙසක් දරා එම කඩ ඉමෙන් එගොඩ කරන්නට සමත් වූවාය.ඔවුන් රටක් වටින දරුවන් කළ ඇය පනස් වසරකට පෙර වළ දැමූ උපාධි සිහිනය සැබෑවක් කරගන්නට සිතා යළි පාඩම් පොත අතට ගත්තේ පසුගිය වසරේදීය.මුලින්ම ඇය කළේ උපාධි සිහිනය සැබෑ කර ගැනීම සඳහා මඟ පාදා ගැනීමේ අරමුණින් ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මගින් විද්‍යයෝදය පිරිවෙණ විභාග අංශයට අනුබද්ධව පවත්වනු ලබන ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනී සිටීමය.පසුගිය පෙබරවාරී මස 06 දින මහනුවර ඩී.එස් සේනානායක විද්‍යාලීය විභාග ශාලාව්දී ලීලාවත් ධර්මරත්න මාතාව විභාගයට පෙනී සිටි අතර ඒ පිළිබඳව රටම කතා කළේ ඒවන විට ඇය 94 වැනි වියේ පසුවීම නිසාය.එහි ප්‍රතිපල අනුව ප්‍රථම,මධ්‍යම හා අවසාන වන විභාග වලින් ඇයට ගෞරව සමාර්ථ හිමිව තිබීමත් සමඟ දැන් ඇය ගැන යළිත් කතා කරන්නට සිදුව තිබේ.

අභියෝග හමුවේ දිරියෙන් ජීවිතයට මුහුණ දී දිවිමඟ ජයගත් ඇය වැනි මිනිසුන් දුලබය.ඒ නිසාම ඇය ගැන කතා කළ යුතුව ඇත.මී මුණුපුරන්ද දැක ජීවිතයේ සැදෑ සමය සුවයෙන් ගෙවමින් සිටින අභියෝග වලට අභියෝග කරමින් ජීවිතය ජයගත් දිරිය කතකි.1928 පෙබරවාරී මස 12 දින උපත ලද ඇය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපවූවේ උපැස් යුවළක් හෝ නොපැළඳය.විවාහ වී හත් වසකට පසු සැමියා මරණයට පත් වුවත් දිරියෙන් ජීවිතයට මුහුණ දී තම දියණියන් සිව් දෙනාම උපාධිධාරීන් වන තෙක් අධ්‍යාපනය ලබා දෙන්නට සමත් වූ ලිලාවතී මාතාව උපාධි සිහිනය ජය ගැනීම සඳහා දැන් එක් පියවරක් තබා ඇත.ඇගේ මීළඟ අපේක්ෂාව කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමය.

මම උපන්නේ හොරණ මිල්ලෑවේ.අධ්‍යාපනය ලැබුවේ මිල්ලෑව බාලිකා විදුහලෙන්.විභාගය සමත් වෙලා ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට වැඩ කළා.නංගිලා දෙන්නෙක් හිටියා ඒ අය දැන් ජීවතුන් අතර නැහැ.ලංකාවට ජපන්නු බෝම්බ දාපු දවස් මට හොඳට මතකයි.කන් වලට පුළුන් ගහගෙන දත් වලින් කෝටු හපාගෙන තමයි අපි බෝම්බ පිපිරෙන සද්දේ දරා ගත්තේ.මට ලොකු ආශාවක් තිබුණා නීතිඥවරයෙක් වෙන්න.1948 නිදහස ලබපු වෙලාවේ ඩී.එස් සේනානායක මහත්තයා කතා කරනවා අහගෙන හිටියම ඒ ආශාව තවත් වැඩි වුණා.පනස් ගණන් වල මම නොතාරිස් විභාගයට පෙනී ඉඳලා ලංකාවෙන්ම පළමු වෙනියා විදිහට සමත් වුණා.1961 නොතාරිස්වරුන්ගේ සම්මේලනයට ගිය එකම කාන්තාව මමයි.ඒ සම්මේලනයේදී මට මගේ මහත්තයා මුණ ගැසුණා.අපි 1962 දී විවාහ වුණා.1966 වෙනකොට අපිට දූලම සිව් දෙනෙක් ලැබුණා.විවාහයෙන් පස්සේ මම නීති විද්‍යාලයට ඇතුළු වෙලා නීතීඥයෙකු වෙන්න අවශ්‍යය විභාග කළා.1970 මම අවසන් විභාගයට ලියන්න ඉන්නකොට මහත්තයා හදිසියේම මිය ගියා.ඒක මට දරා ගන්න අමාරු වුණා.අධ්‍යාපන වැඩ සියල්ල පැත්තක දාලා මම දරුවන්ගේ වැඩ කරට ගත්තා.නොතාරිස් කෙනෙක් විදිහට දිගටම වැඩ කරලා ළමයින්ට ඉගැන්නුවා.හැම වෙලාවෙම දුවලා හතර දෙනාට මම කිව්වේ ඉගෙන ගෙන කැම්පස් යන්න ඕන කියලා.අපේ ළඟ තියෙන මොනදේ කවුරු උදුර ගත්තත් ඉගෙන ගත් දේ උදුර ගන්න බැහැ කියන දේ මම හැම වෙලාවෙම ළමයින්ට කියලා දුන්නා.ලීලාවතී මාතාව ඇගේ ජීවිතයේ යටගියාව එසේ ගෙනහැර දැක්වුවාය.

කුඩා කල සිටම පිය සෙනහස අහිමි දියණියන් සිව්දෙනා මවට කීකරුව හැදී වැඩුණේ මවගේ සිහින සැබෑ කරමිනි.ලීලාවතී මාතාවගේ වැඩිමහල් දියණිය ධම්මිකා ජයලත්ය.ඇය වත්මන් බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරියයි.දෙවැන්නා සමුද්‍රා ජයලත්ය.වෘත්තියෙන් ඉංජිනේරුවරියක් වන ඇය ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක මහචාර්යවරියක් ලෙස සේවය කරයි.පවුලේ තෙවැන්නා ඉන්දු නීලා ජයලත් ගුරුවරියකි.ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය සමත්ව දැන් සේවය කරන්නේ නාවලපිටිය පත්තුණු පිටිය මහ විදුහලේය.නීතිඥවරියක මෙන්ම වැඩ බලන මහේස්ත්‍රාත්වරියකද වන මනෝහාරි ජයලත් පවුලේ සිව් වැන්නායි.

සිංහල,ඉංග්‍රීසි,දෙමළ,පාලි හා සංස්කෘත භාෂා කතා කරන්න ලියන්න මට පුළුවන්.අපිට ඉගෙන ගන්න වයසක් නැහැ.මැරෙනකල් ඉගෙන ගන්න පුළුවන්.දරුවෝ රස්සාවල් කරන්න ගත්තම දෙමව්පියෝ ඉගෙන ගන්න මැලිකමක් දක්වනවා.මම ත්‍රිපිටක පොත් කාණ්ඩ අදත් කියවනවා.ඉංග්‍රීසි පොත්පත් කියවනවා.කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් පාලි අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීම තමයි මගේ අරමුණ.දෙවියන්ට කරන්න බැරි දේවල් මනුෂ්‍යයින්ට කරන්න පුළුවන්.මම හැමෝටම කියන්නේ මනුෂ්‍යත්වය පහළට දලා වැඩ කරන්න එපා කියලයි.මනුෂ්‍ය ආත්මයක් ලබන්න පිං කරන්න ඕන.එහෙම ලැබුණු ජීවිතය අර්ථවත් ලෙස ගෙවා දැමීම තමයි අපේ යුතුකම.බලාපොරොත්තු වෙන හැමදේම ඉටු වෙන්නේ නැහැ.ජීවිතය නොහිතන වෙලාවල් වල කඩාගෙන වැටෙනවා.මගේ මහත්තයා මියගිය වෙලාවේ මම කඩා වැටුණා නම් අද මගේ දරුවන්ට මොකද වෙන්නේ.හැම කරදරයක්ම ජීවිතයට පන්නරයක් කියලා හිතන්න ඕන.වලකට වැටෙන්න ඕන මොළේ පෑදෙන්න.හැම වැටීමක්ම ජීවිතයට පාඩමක් කරගන්න.ප්‍රශ්න ඉදිරියේ අධෛර්යමත් වෙනවා කියන්නේ පරාජයේ ආරම්භයයි.ප්‍රශ්න වලින් පැනලා ගියොත් ඒවා කවදා හරි ආයෙත් අපි ඉස්සරහට එනවා.ලීලාවතී මාතාව පවසන්නීය.

නාවලපිටිය පල්ලේගම පත්තුණුපිටියේ පදංචි ලීලාවතී මාතාවගේ තෙවැනි දියණිය වන ඉන්දු නීලා ජයලත් මව පිළිබඳව මෙසේ ප්‍රකාශ කළාය.තාත්තා නැතුව අම්මා අපිව හදා ගන්න ලොකු කැපවීමක් කළා.තරුණ වයසේදීම තාත්තා මිය ගියත් අම්මා වෙනත් කසාදයක් කර ගත්තේ නැහැ.අම්මගේ එකම හීනය වුණේ අපිට හොඳින් උගන්වන එක.නාවලපිටියේ අපි පදිංචි වෙලා හිටිය ගෙදර පැය 24 පුරාම කවුරුන් හෝ ඇහැරලා ඉන්නවා.ගෑණු අයම සිටි නිසා අම්මා මේක අපිට පුරුදු කළා.සහෝදරියෝ දෙන්නෙක් රෑ 8.00 ඉඳන් 11.00 වෙනකල් නැගිටලා පාඩම් කරනවා.එතකන් අනිත් දෙන්නා නිදා ගන්නවා.ඊට පස්සේ ඒ දෙන්නා නිදා ගත්තම අනිත් දෙන්නා පාන්දර 2.00 වෙනකල් පාඩම් කරනවා.අම්මා හැමදාම උදේ 2.30 ට නැගිටිනවා.අම්මට සංස්කෘත කියවන්න පුළුවන් නිසා ඉස්සර අපිව පෞරාණික ස්ථාන වලට එක්කන් ගියාම සෙල් ලිපි වල තියෙන ඒවා කියලා දෙනවා.ගිය අවුරුද්දේ අම්මා වැටිලා උකුල් ඇටයක් බිදුණා.එයා ඒ නිසා ගොඩක් දුක් වින්දා.ශල්‍යකර්මයක් කරන්න ගියාම දොස්තර මහත්වරු කිව්වා වයස වැඩි නිසා කරන්න බෑ කියලා.සිහිය නැති කළොත් ආපහු ගන්න බෑ කිව්වා.වෛද්‍යරියක් වන මගේ අක්කා කිව්වා අම්මට ඕන දෙයක් දරා ගන්න පුළුවන් ඔපරේෂන් එක කරන්න කියලා.අපි හැමෝම ඒකට කැමැති වුණා.අපි දන්නවා අපේ අම්මගේ හිත හයියයි කියලා.පහුගිය අවුරුද්දේ මැයි මාසේ 05 වෙනිදා සැත්කම කළා.දොස්තර මහත්වරුන්ටත් පුදුමයි අම්මා ටික දවසකින් නැගිට්ටා.ව්‍යායාම කරලා දැන් එයා ඇවිදිනවා.උදේ පාන්දර නැගිටලා අම්මා විභාගයට පාඩම් කරනවා.සාමාන්‍යයෙන් ප්‍රාචීන ලියලා වසරකින් තමයි මධ්‍යම ලියන්නේ.මධ්‍යම ලියලා අවුරුද්දකින් අවසාන ලියන්නේ.ප්‍රාචීන,මධ්‍යම හා අවසාන විභාග තුනටම අම්මා පෙනී හිටියේ දවස් දෙකකදී.අපේ අම්මා කුසෙන් නොවැදුවත් අපිට තවත් නංගී කෙනෙක් ඉන්නවා.එයා වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ රසායනාගාර පර්යේෂණ සහකාර ලෙස රැකියාව කරනවා.අම්මා ඉගෙන ගන්න හරිම ආසයි.එයා දරුවෝ හැමෝටම උපාධි ලෝගුව පොරවලා හිසට කළු තොප්පිය දැම්මා.අම්මටත් ඒ ලෝගුව පොරවලා හිසට කළු තොප්පිය දාන එක තමයි අපේ හීනය..

මම දැනගෙන හිටියා විභාගේ හොඳින් පාස් වෙයි කියලා.තැපෑලෙන් ප්‍රතිපල ආවම දුව ඇවිත් කිව්වා අම්මා විභාගේ හොඳට පාස් වෙලා කියලා.ප්‍රතිපල එන්නත් කලින් මම ශාස්ත්‍රපති විභාගයට පාඩම් කරන්න පටන් ගත්තා.මම ඉගෙන ගන්නේ අශාවට.මේ වෙලාවේ උපාධියක් අරන් රැකියාවකට යන්න බැහැනේ.අපි ඉගෙන ගන්න ඕන රස්සාවක් බලාපොරොත්තුවෙන්ම නොවෙයි.විභාගයක් කියන්නේ අප සතුව තිබෙන දැනුම අපටම තක්සේරු කර ගන්න ලැබෙන අවස්ථාවක්.මම ඒකට කැමතියි.

ලීලාවතී මාතාවට මැහුම් ගෙතුම් වැඩ හොඳට පුළුවන.ඇය අදත් පොල් හා තල් කොළ වලින් පැදුරු,වට්ටි,පෙට්ටි වියන්නීය.ඇගේ දියණියන් දෙදෙනෙකුගේ දරුවන් තිදෙනෙකු විවාහ වී සිටින අතර ඔවුන්ට දරුවන් පස් දෙනෙකි.ඒ සෑම දරුවෙකුටම ඇඳුම් අදටත් මහන්නේ ලීලාවතී මාතාවගේ දෙඅතිනි.ඒ සඳහා ඇයට උදව් වන්නේ 65 වසරක් ඇගේ තනි නොතනියට සිටි මහණ මැෂිමය.මගේ හිතේ වෛරය,ඊර්ෂයාව,ක්‍රෝධය නැහැ.ඒ නිසා තමයි මට තාමත් නිරෝගීව ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ.අනිත් අයට තියෙන තමන්ට නැති දේවල් ගැන හිත හිත කාලය නාස්ති කරන්න එපා.ඔබට යමක් ලබා ගන්න අවශ්‍යය නම් ඒකට දැන් මේ මොහොත් සිටම ක්‍රියාත්මක වෙන්න.ඒ සඳහා අවංකව කැපවෙන්න.එ් ඉලක්කය ඔබට නිසැකවම ජනගත හැකියි.මේ ඇය අපට දෙන පණිවිඩයයි.


ඡායාරූප-1.ලීලාවතී මාතාව
ලීලාවතී මාතාවගේ දියණියන් සිව් දෙනා.
මී මුණුපරන් සමඟ

මහනුවර වාර්තාකරු

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *